පුවත්

යුනාන් ආණ්ඩුකාරවරයා අද මෙරටට ; අවබෝධතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

Published

on

චීනයේ යුනාන් පළාතේ ආණ්ඩුකාරවරයා වන වාන්ග් යුබෝ මහතා අද (16) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බව තානාපති ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

මේ අතර, අද සිට මැයි 20 දක්වා සිදුවීමට නියමිත එම මහතා ගේ සංචාරය අතරතුරදී යුනාන් පළාත් මහජන ආණ්ඩුවේ විදේශ කටයුතු කාර්යාලය හා ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම මගින් අන්‍යෝන්‍ය සංචාර, ආර්ථික, වෙළඳ හා වාණිජ, අධ්‍යාපන, සංචාරක, කෘෂිකර්ම, මානව සංස්කෘතික හුවමාරුව, ජනතාවගේ ජීවන තත්ත්වය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට මුදල්, ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

යුනාන් පළාතේ අනුග්‍රහයෙන් නොමිලේ අක්ෂි කාච බද්ධකිරීම් 130ක්
මේ අතර, චීන – ශ්‍රී ලංකා දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය කිරිමේ අරමුණෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය සහ චීනයේ විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමය (Yunnan Provincial People’s Association for Friendship with Foreign Countries) සමග ඒකාබද්ධව සම්පූර්ණයෙන්ම නොමිලේ අක්ෂි කාච බද්ධ කිරිමේ වැඩසටහනක් (“2023 Brightness Action”) මේ වන විට ලංකාවේ ආරම්භ වී තිබේ.

මේ යටතේ දිවයිනේ විවිධ පළාත්වලින් වෛද්‍ය නිර්දේශ මත තෝරාගත්, අඩු වරප්‍රසාද ලත් පුද්ගලයන් හට නොමිලේ අක්ෂි කාච බද්ධ කිරීම් 130ක් සිදුකෙරෙන බව චීන තානාපති කාර්යාලය පවසයි.

ප්‍රධාන වෛද්‍ය සත්කාරකත්වය සපයන්නේ යුනාන් පළාතේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු වැනි අනුබද්ධිත රෝහලයි (The First Affiliated Hospital of Kunming Medical University). දේශීය වෛද්‍ය සත්කාරකත්වය සපයන්නේ ලංකා හොස්පිට්ල් ආයතනයයි.

විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හා යුනාන් පළාතේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු වැනි අනුබද්ධිත රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට දිවයින පැමිණ සිටිති.

Trending

Exit mobile version