මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (30) නියම කරන ලදී.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවීය.
එහිදී නඩුවට අදාළ ලේඛනයක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ලේඛන හා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු ලයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ, සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා මෙම ලේඛන හා සාක්ෂි සටහන් තමන්ට අවශ්‍ය බවය.
ඒ අනුව එම ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව සලකා බලා ලබාදිය හැකි ලේඛන විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 11 වන කැදවීමට නියම විඅය.
රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.