Connect with us

පුවත්

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට  IMF අඛණ්ඩ සහාය

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස හමු විය.

ශ්‍රී ලංකාවට මෑත කාලීන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මඟ පෙන්වමින් දැක්වූ  අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කළේය.

මෑතකදී එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු පිළිබඳව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 25% ක් පමණ, එක්සත් ජනපදයට අපනයනය කරන බැවින්, එසේ  තීරු බදු ඉහළ නැංවීම තුළින් ඇති විය හැකි බලපෑම පිළිබඳවද සඳහන් කළේය.

ගෝලීය වශයෙන් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග සහ එයින්  ඇති විය හැකි අහිතකර ප්‍රතිඵලද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වුවත්, මෙම අවදානම් ඵලදායී ලෙස කළමනාකරණයටත්, ඒවායේ බලපෑම අවම කිරීමටත්  සුදුසු පියවර ගනිමින් සිටින බව ජනපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නියෝජිත පිරිසට පැවසීය.

ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පවත්වන වෙළෙඳ සබඳතාව, විශේෂයෙන්ම මෙරට අපනයනවලින් 23%කට යුරෝපා සංගමයේ වෙළඳපොළවලට ප්‍රවේශය ලබාදෙන GSP+ වෙළෙඳ සහනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ආයෝජකයන්ගේ  විශ්වාසය තහවුරු කිරීම,  ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒමට රුකුලක් වනු ඇති බවද පැවසීය.

වත්මන් පාලනය ජනතාව කේන්ද්‍ර කරගත්තක් බවත්, මහජන අභිලාෂයන් සමඟ සමපාත වෙමින් රට ඉදිරියට ගෙන යාමට රජය කැප වී සිටින බවත් ජනපතිවරයා  යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේදී තමාව උණුසුම් ලෙස පිළිගැනීම පිළිබඳ ගෝපිනාත් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ අතර, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන දෙකෙහිදීම රජයට ලැබුණු සවිමත් ජනවරම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජයට ශක්තියක් වන බව සඳහන් කළාය.

දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතිය පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා  ඉහළ උද්ධමන අගයක සිට පහළ අගයක් දක්වා උද්ධමන අගය අඩු වීමත් සඳහන් කළ ඇය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ඇගයීමට ලක් කළාය.

එසේම, රජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලදී  රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙම උත්සාහයන් තිරසාර බවට පත්  කිරීමේ සහ පුළුල්  කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ක්‍රියාවලියේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවට මෙහිදී ගෝපිනාත් මහත්මිය සහතික වූවාය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක,  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු  යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පුවත්

සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් යයි

Published

on

By

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (17) බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදි,
එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් වූ යෝජනා ස්ථීර කරන ලදි.

ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත්වී ඇති බැවින් සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක්ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරිය පවසා තිබේ.

එම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් පිටත්ව යාම හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම මත සභාව විනාඩි 30කට කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර ඇත.

කෙසේ වෙතත් පසුව ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.

ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම අද සිදුනොවුණු අතර එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් තැබීමට ද සිදුවිය.

Continue Reading

පුවත්

කථානායක තීරණයට විරෝධය පා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සභාවෙන් ඉවත් වෙති

Published

on

By

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.

ඒ ඉරාන – ඊශ්‍රායල් ගැටුම සාකච්ඡා කිරීමට කාලය වෙන් කිරීම කතානායකවරයා විසින් අද (17) ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

Continue Reading

පුවත්

ප්‍රංශය සහ ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තැබේ

Published

on

By

ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඊට අදාළ නිල අත්සන් තැබීමේ උත්සවය ඊයේ (16) කොළඹ දී පැවැත්වුණි.

ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රංශ ජනරජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ජපානය සහ ඉන්දියාව සමඟ නිල ණයහිමි කමිටුවේ සම – සභාපතිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබාදීමේදී ප්‍රංශ ජනරජය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇතැයි ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා සහයෝගය දැක්වීමේදී එහි නායකත්වය, කැපවීම සහ ඵලදායී මැදිහත්වීම මඟින් දායකත්වය ලබාදී ඇති බව ද එහි සඳහන්ය.

ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අර්ථාන්විත ප්‍රගතියක් ළඟාකර ගැනීමට ශ්‍රී ලංකා රජයට මෙමඟින් හැකියාව ලැබී ඇතැයි ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ද්විපාර්ශ්වික ණය ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ප්‍රංශ ජනරජය වෙනුවෙන් බහුපාර්ශ්වික කටයුතු, වෙළඳ හා සංවර්ධන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්, භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල්, විලියම් රූස් මහතා විසින් මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇත.

ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ණය ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved