Connect with us

පුවත්

රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක්

Published

on

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.

ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් මහතා විසින් ඊට අත්සන් තැබීය.

මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ (RESET) සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ (DPF) වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිව ඇත.

මෙම දෙවසරක වැඩසටහන (2023-2024), දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇතිවන බලපෑම් අවම කරමින්, සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීම අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනේ පළමු අදියර 2023 වසරේ දී ක්‍රියාත්මක වූ අතර, ප්‍රධාන අංශ තුනක් යටතේ ප්‍රධාන පූර්ව ක්‍රියාමාර්ග හතක් සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඒ යටතේ හැකි විය.

ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රධාන අංශ 03 ලෙස,

1. ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම: මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරමින් රාජ්‍ය සම්පත් කළමනාකරණයේ මූල්‍ය විනය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම

2. වර්ධනය සහ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම: වඩාත් තරඟකාරී පුද්ගලික අංශයක් හරහා ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම

3.     දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම: අර්බුදයේ ආර්ථික බිඳවැටීමෙන් සමාජයේ වඩාත්ම පීඩාවට පත් වූ කොටස් ආරක්ෂා කිරීම ලෙස හඳුන්වාදී තිබේ.

අදාළ මූල්‍ය පහසුකම ලබා ගැනීමට සුදුසුකම් ලැබීමට නම්, රජය විසින් ඉහත සඳහන් ප්‍රධාන අංශ තුන යටතේ පූර්ව ක්‍රියාමාර්ගයන් නවයක් සම්පූර්ණ කළ යුතුව තිබු අතර මනා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ද පවත්වා ගත යුතු වේ.

ඒ අනුව මෙම  මූල්‍ය පහසුකමේ දෙවන අදියර ලබාදීම සඳහා ද ලෝක බැංකු මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර එය මූල්‍ය ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බලාත්මක වේ.

ලෝක බැංකුවේ මෙම මූල්‍ය ආධාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ අනාගතයේදී එවැනි අර්බුද නැවත ඇතිවීම වැළැක්වීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන අතරම ස්ථාවර සහ තරඟකාරී ආර්ථික පරිසරයක් නිර්මාණය කරනු ලබයි.

පුවත්

ජනාධිපති කාර්යාලයේ  අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ  දෙවන අදියර ඇරඹේ

Published

on

By

ජනාධිපති කාර්යාලයේ  සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන්  ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය.

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා  ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකිය.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ පළමු අදියර යටතේ
මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර,  හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

මේ පිළිබඳව නිකුත් කර ඇති දැන්වීම මේ සමඟ අමුණා ඇත.

Continue Reading

පුවත්

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය අද සිට

Published

on

By

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ලබන 30වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ලියාපදිංචී වීම සිදු කිරීමට හැකියාව ඇත.

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300ක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

පෙරට්ටුවේදී ඩෑන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගනී

Published

on

By

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගයකට අනුවය.

එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර සිටියේය.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසීය.

මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් සඳහන් කරන ලදී.

සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ CCTV දර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කලේය.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර අදාළ සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම විය.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඉකුත් අප්‍රේල් (23) මියගියේය.

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය විසින් පැවසීය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් විය.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved