රජවැල්ල පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමැති ඉපැරණි වටිනාකමකින් යුත් පාෂාණය සොරා ගෙන යාමේ සිද්ධියේ පොලිස් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇතැයි වාර්තා වේ.
වර්ෂ1707-1739 කාලයේ කුණ්ඩසාලය ප්‍රදේශය තම රාජධානිය කරගත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රජ මාළිගා පරිශ්‍රය පිහිටියේ මෙම පල්ලෙකැලේ උඩමලුව පුරාවිද්‍යා රක්ෂිතයේය.
වසර 300 කට වඩා පැරණි කැටයම් යොදා කටාරම් කොටා තිබූ කිලෝ දහසකටත් වඩා බරකින් යුතු එම පාෂාණය ඉකුත් දෙසැම්බර් 13 – 14 අතර රාත්‍රි කාලයේ කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබුණි.
එහි පොලිස් විමර්ශන කටයුතු කළ පල්ලේකැලේ පොලිසිය අදාළ විමර්ශන කටයුතු මන්දගාමීව සිදුකරන බවට විවිධ අවස්ථාවලදී චෝදනා නැගුණු අතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයන් ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු මැරයන් පිරිසක් සිද්ධියට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබුණි.
එම සඳගල නමැති ඉපැරණි පාෂාණය රැගෙන යාම සඳහා පැමිණි වාහනවල අංක තහඩු සීසීටීවී කැමරාවල පැහැදිලිව සටහන්වී තිබියදීත් එහි පොලිස් විමර්ශන කටයුතු මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශය පුරා විවිධ කට කතා ද පැතිර යමින් තිබුණි.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගෙන් කළ විමසීමකදී පවසා සිටියේ එම සිද්ධියේ විමර්ශන කටයුතු වඩාත් පුළුල්ව සිදු කළ යුතුව තිබෙන බැවින් පොලිස්පතිවරයාගේ නියෝගයෙන් එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණු බවයි.