Connect with us

පුවත්

රටටම VAT ගෙවන්න කියන රූපවාහිනිය අවුරුදු 5ක් VAT ගෙවලා නෑ 

Published

on

ජාතික රූපවාහිනිය VAT බදු ‌වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ‌ගෙවීමට ඇති රුපියල් මිලියන 750කට ආසන්න මුදලක් නොගෙවා මඟහරිමින් සිටින බව වාර්තා වේ.

එම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර පහක පමණ කාලයක සිට මෙසේ VAT බදු ‌ගෙවා නැතැයිද පැවසේ.

අදාළ තත්ත්වය හේතුවෙන් රූපවාහිනියට මුදල් ලැබීමට ඇති වෙනත් ආයතන වලින් නොගෙවූ VAT බදු අය කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුවිප් ටිකට් දිනුම් ඇදීම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් රුපවාහිනියට මසකට ගෙවනු ලබන රුපියල් මිලියන 40කට ආසන්න මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස එහි ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා විසින දන්වා ඇති බවද වාර්තා වේ.

මේ අතර, දැනට මාස පහක පමණ කාලයක සිට රූපවාහිනියේ සභාපති ලෙසින් කටයුතු කරන ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා මෙම VAT බදු ප්‍රමාණය නොගෙවා මගහැර සිටීමට අහල පහල හිතවතුන්ගේ සහය පතමින් සිටින බවද පැවසේ.

ඒ මහතා අදාළ තනතුරට පත්කරන ලද, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හරහා ආදායම් බදු කොමසාරිස් ජනරාල් (වැඩ බලන), උපුල් ජයවර්ධන මහතාටත් තවත් ඉහල නිලධාරීන්ටත් බලපෑම් කර ඇති බවට ද මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔවුන් මෙසේ ඉල්ලා ඇත්තේ මෙම වසර අවසන් වනතුරු VAT  බද්ද නොගෙවා සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස බවද පැවස‌ේ.

රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයකු මෙසේ බදු නොගෙවා VAT බද්ද සේවක පඩිනඩි ගෙවීමට යොදා ගත්තේ නම් මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔහුගේ හෝ ඇයගේ ව්‍යාපාර බැංකු තහනම් කර නඩු පැවරීමට කටයුතු කරනු ලබයි.

 VAT බදු ‌ගෙවීම පැහැර හැරීමට හේතු ලෙස රූපවාහිනී සේවක සේවිකාවන්ට එහි සභාපතිවරයා පෙන්වා දී ඇත්ත‌ේ  චැනලයේ ආදායම අඩුවීමයි. 

නමුත් වෘත්තීය සමිති නියෝජිතයින් කියාසිටින්නේ සභාපති ප්‍රසාද් සමරසිංහ විසින් චැනලය දියුනු කිරීමට උවමනා නිෂ්පාදන සඳහා සේවක පිරිස යොමු නොකරන බවත්, දවස පටන් ගත් මොහොතේ සිට රූපවාහිනී යූටියුබ් චැනලයට කොටමින් එයින් කීයක් හෝ ගසා කෑමට උත්සහ කරන බවත්ය. 

මේ අතර, මෙරට ප්‍රධාන ආයතන කිහිපයකම අධ්‍යක්ෂ වරයකු ලෙස කටයුතු කරන ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතාගේ මෙම හැසිරීම හේතුවෙන් ඔහුගේ මෙරට හා ඔස්ට්‍රේලියාවේ තිබෙන  වත්කම් සඳහා නිවැරදිව බදු ගෙවන්නේද යන්න පිළිබඳවද දේශීය ආදායම් දෙපාර්තමේතුවට සැකයක් මතුව ඇතැයි මේ අතර වාර්තා වේ.

අද බිසී පස්ස‌ෙ උත්තර දෙන්නම් …

සිද්ධිය සම්බන් ශ්‍රී ලංකා මිරර් අප ආදායම් බදු කොමසාරිස් ජනරාල් (වැඩ බලන), උපුල් ජයවර්ධන මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමනදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද පිළිතුරක් දිය නොහැකි බවයි.

අය වැය සම්බන්ධ සාකච්ඡා කිහිපයක් හේතුවෙන් අද සවස්වන තුරුම තමා කාර්ය බහුල බවත් මේ සඳහා පසුව පිළිතුරක් ලබාදීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

15% VAT – 18% වුණේ මේ නිසා?

මේ අතර, එළැඹෙන 2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කෙසේවුවද, VAT ගෙවන සමාගම් කිහිපයක ප්‍රධානියෝ  අප සමඟ කියා සිටියේ වැට් බදු වැඩි කිරීමට හේතුව රාජ්‍ය ආයතන විසින් ද VAT ගෙවීම පැහැර හැරීම බවයි.  

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved