Connect with us

පුවත්

රටවිරු කෝටාවට විදුලි වාහන කියා BMW හා බෙන්ස් කාරුත් ගෙන්නලා

Published

on

විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කර ඇති බවට චෝදනා එල්ලවී ඇති නිසා එසේ විදුලි වාහන ගෙන්වීමට තවදුරටත් අවස්ථාව දෙන්න‌ේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා භාණ්ඩාගාරයට පවරා ඇතැයි වාර්තා වේ.

ජනපතිවරයා මේ තීන්දුව ගෙන ඇත්ත‌ේ මහා භාණ්ඩාගාරය විසින්  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවදානය යොමු කිරීමෙන් අනතුරුව බවද  පැවසේ.

ශ්‍රී ලංකා රේගුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයකින් පසුව වාහන ගෙන්වීමට දුන් අවසරය අවභාවිතා කළ බවට තොරතුරු හෙළිකර තිබිණි.

මේ අතර, රේගු ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ අදාළ බලපත්‍ර භාවිතා කර වාහන ගෙන්වූ අය ඒවා අඩු තක්සේරු කර ගෙන්වීමේ අක්‍රමිකතා සිදුකර ඇති බවට පරීක්ෂණ වලදී හෙළිවී ඇති බවයි.

මේවන විට විදුලි වාහන 119ක් ගෙන්වා ඇති බවත්, ඉන් වාහන 75ක් ගෙන්වා ඇත්ත‌ේ එකම ආයතනයක් විසින් බවද මේවන විට හෙළිව තිබේ.

මෙසේ ගෙන්වූ මෝටර් රථ අතර BMW 22ක්, මර්සිඩීස් බෙන්ස් 13ක්, පොශ‌ේ 05ක්, ෆ‌ෝඩ් මස්ටෑංග් 06ක්, අවුඩි 04ක්, ටෙස්ලා 04ක්, පර්ජෝ 08ක්, වෝක්ස් වැගන් 22ක් හා නිසාන් වාහන 10ක් ඇති බවද පැසේ.

විදසේගත ශ්‍රමිකයන්ට මේ අවස්ථාව ලබාදෙනු ලැබුවේ පිළිගත් බැංකු මාර්ග හරහා සෘජු විදේශ ප්‍රේෂණ රට තුළට ආකර්ෂණය කර ගැනීම සඳහාය.

මූලාශ්‍රය – ද සන්ඩේ ටයිම්ස්

සබැඳි පුවත්
දහම් අත්අඩංගුවට ගන්න එපා – අධිකරණයෙන් නියෝගයක් 
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ විදුලි කාර් ගෙන්වීමේ කෝටාවටත් බැටේ දීලා

පුවත්

බරපතළ සිර දඬුවම් ලැබූ, නඩු 20ක විත්තිකරුවෙකුට ජනාධිපති සමාව ලැබුණේ කෙසේ ද?

Published

on

By

රුපියල් ලක්ෂ හතලිහක් (රු. 4,000,000) වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකාරවරයාට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කළා ය.

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව ඊයේ (ජූනි 05) යළි කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී, අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය කරන ලදී.

අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ, අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බව ය.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කළේ, විත්තිකරු ඔහුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස ය.

මෙම නඩුව මීට පෙර පසුගිය මැයි මස 2 වන දා අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් තීන්දු කළා ය.

ඒ අනුව, මුදලින් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළා ය.

ඊට අමතරව විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළා ය.

තව ද විත්තිකරු විසින් වින්දිත පාර්ශවය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ විස්සක (20) වන්දි මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එකී දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණ.

එසේ නියම කළ දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීම සඳහා එම නඩුව ජූනි 05 වන දා යළි කැඳවීමට ද එදින නියෝග කළා ය.

2014 වසරේ පෙබරවාරි මස 17 දින සිට 2014 වසරේ ජූනි මස 9 වන දින අතර කාලය තුළ විත්තිකරු කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ලාභ ලබා ගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න යන අය විසින් විත්තිකරු වෙත භාර දෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ හතලිහක් සාපරාධ විශ්වාසය කඩ කරමින් වංචා කර සාවද්‍ය පරිහරණය සිදු කරන ලැදයි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

එකී අධිචෝදනාවට විත්තිකරු වරදකරු කෙරිණි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය වංචාව සම්බධන්යෙන් විමර්ශන මෙහෙයවා තිබිණි.

විත්තිකරු අදාළ මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයා ලෙස ක්‍රියාකරමින් මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී කියැවිණි.

එලෙස ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් පවතින අතර අනුරාධපුර මහාධිකරණයේ ද තවත් නඩු කිහිපයක් පවතින බව අප වාර්තාකරු පවසයි.

ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්ට අදාළ ඒවා වීම විශේෂත්වයකි.

එම නඩුවල පැමිණිලිකරුවන් වන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකි.

ඔහු මූල්‍ය වංචා සිද්ධියකට මීට පෙර ද අධිකරණයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබූ අයෙකි.

මේ අතර, මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා අද (ජූනි 06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය.

නඩු 20කට අධික සංඛ්‍යාවකට විත්තිකරු වී සිටින පුද්ගලයෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක සමාව දුන්නේ කෙසේ දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේ ය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඇමතූ අවස්ථාවේදී ඔහු පැවසුවේ, අදාළ සිද්ධිය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව ය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, වෙසක් පොහොය දිනය වෙනුවෙන් පොදු සමාව පිරිනැමීම යටතේ අදාළ පුද්ගලයා නිදහස් කළ බව ය.

එම නිවේදනය පහත දැක්වේ. (ව්‍යාකරණ දෝෂ සහ අක්ෂර දෝෂ නිවැරදි කර ඇත)

“අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්.එම්. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගරගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝණය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මගින් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර ඇත.

2025.05.12 වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025.05.05 දින වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත්ව ය.

ඒ අනුව, මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් වී ඇත. මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කළ බවට ලද නියෝගය අනුව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදා හැරිණි.

මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණි.”

මූලාශ්‍රය – බීබීසී සිංහල

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන පොසොන් සතිය

Published

on

By

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පැවසීය.

ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.

රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved