Connect with us

පුවත්

බහාලුම් පුරවා රටින් ගෙනත් අතේ මාට්ටු වූ හොර බඩුවල NOLIMIT ලේබල්!

Published

on

රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර වෙළෙඳාම සඳහා ආනයනය කරන ලද රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් රේගු අභ්‍යන්තර කටයුතු ඒකකයට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අඩි 40ක් දිගැති බහලුම් දෙකක තිබී රේගුව විසින් මෙම භාණ්ඩ තොගය සොයාගෙන ඇති අතර මෙවැනි භාණ්ඩ සහිත තවත් බහලුම් 03ක් තිබෙන බවත්, ඒවා ඉදිරියේදී පරීක්ෂාකර නීතිමය පියවර ගන්නා බවත් රේගුව සඳහන් කියා සිටී.

මෙසේ සොයාගන්නා ලද එක් බහාලුමක තිබී මෙරට ප්‍රධානතම ඇඟළුම් ආයතනයක් වන නොලිමිට් (NOLIMIT) නැමැති ආයතනයේ ලේබල (Tag) යොදන ලද සපත්තු ද සොයාගෙන ඇති අතර එම බහාලුම තුළ තිබී තවත් සුවඳවිලවුන් තොගයක්ද සොයාගෙන තිබේ.

අනෙක් බහලුම්වල තිබූ විශාල පෙට්ටි තුළ වෙළෙඳාම සඳහා ආනයනය කරන ලද විවිධ වර්ගයේ භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇත. 

එම භාණ්ඩ අතර පාවහන්, මුහුණු ආලේපන, මිල අධික සුවඳ විලවුන්, සත්ව ආහාර, නිමි ඇඳුම්, වියළි කහ කැබලි, මිලෙන් අධික චොකලට් ආදිය ද තිබීම විශේෂිතය.

මෙලෙස රේගු භාරයට ගන්නා ලද පාර්සල් තොගය කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ නිෂ්කාශනය කරන පෞද්ගලික ආයතනයකදී කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඊයේ (27) දහවල් පරීක්ෂා කළේය. 

එම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා, රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මැද පෙරදිග ඇතුළු රටවල සේවය නිමවා මෙරටට පැමිණෙන පිරිස් එරටදී භාවිත කරන ලද භාණ්ඩ ගුදම් මගින් නිෂ්කාශනය කෙරේ. ඒ අනුව මෙම භාණ්ඩ ඩුබායි, මැලේසියාව, තායිලන්තය ආදී රටවල සිට මෙරටට ගෙන්වා තිබිණි.

මෙම භාණ්ඩ නම්කර ඇත්තේ ‘කැටුව නොයන ගමන් භාණ්ඩ’ ලෙසයි. 

එලෙස රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර වෙළෙඳ වටිනාකමක් සහිත භාණ්ඩ තොගයක් බහලුම්වල පටවා ආනයනය කර තිබිණි.

මෙම භාණ්ඩවල භාරකරුවන් ලෙස යොදා තිබූ ලිපින සහ නම් ව්‍යාජ ඒවා බවද එම භාණ්ඩ භාර ගැනීම සඳහා පැමිණෙන ලෙස අදාළ ලිපිනයන්ට දැනුම් දුන්නද මෙතෙක් කිසිවකු නොපැමිණි බවද රේගුව සඳහන් කළේය.

ආනයනය කර තිබූ විවිධ වර්ගයේ සුවඳ විලවුන්, මුහුණු ආලේපන ආදිය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අවසරයක් ලබාගෙන නොමැති බැවින් ඒවා ඉදිරියේදී රාජසන්තක කර විනාශ කරන බවද රේගු නිලධාරිහු සඳහන් කළහ.

තවද මෙම භාණ්ඩ තොගය රේගු භාරයට නොගත්තේ නම් රජයට අහිමිවීමට තිබූ බදු මුදල අති විශාල බවද ඔවුහු පැවසූහ. 

විදෙස් රටක සිට පාවහන් ආනයනය කිරීමේදී පාවහන් යුවළක් සඳහා සෙස්, වැට් ඇතුළු සියලු බදු ලෙස රුපියල් 1,200 ක පමණ මුදලක් රජයට ගෙවිය යුතුය. එ

මෙන්ම රූපලාවණ්‍ය ආලේපන ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට රුපියල් 1,500 ක පමණ බදු මුදලක් රජයට ගෙවිය යුතුය. 

මෙලෙස රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ ඒවායින් අධික ලාභයක් ඉපැයීමේ අරමුණින් බව රේගු නිලධාරිහු කීවෝය.

මේ අතර, රේගු ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ බදු වංචාකරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙරට විශාල ඇඟලුම් ආයතන කිහිපයකටම මීට පෙරද චෝදනා එල්ලවී ඇති බවයි.

වසර 1992 දී දෙහිවල දී සේවකයින් පස් දෙනෙකුගෙන් යුත් තනි සාප්පුවක් ලෙස ආරම්භ කරන ලද නොලිමිට් ආයතනය මේවන විට දිවයින පුරා පිහිටි ඇඟලුම් සාප්පු ජාලයක් බවට පත්ව තිබේ.

නොලිමිට් හි නිර්මාතෘ සහ සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ද එන්.එල්.එම්. මුබාරක් මහතාය.

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading

පුවත්

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Published

on

By

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව අද දින (30) ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

Continue Reading

පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය ක්‍රමයක්

Published

on

By

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිති ය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බවය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන තිබේ.

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
• හැටන් නැෂනල් බැංකුව
• සෙලාන් බැංකුව
• සම්පත් බැංකුව
• කොමර්ෂල් බැංකුව
• ඩී.එෆ්.සී.සී බැංකුව
• ජාතික සංවර්ධන බැංකුව
• නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
• සණස සංවර්ධන බැංකුව
• අමානා බැංකුව
• කාගීල්ස් බැංකුව
• පෑන් එෂියා බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණයයෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව, පසුගිය 2024/25 මහ කන්නයේදී මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 6,850ක පමණ ණය අරමුදල් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ලබාදෙන දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved