හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට අදාළව මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ බිරිඳ ඩුබායි සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට අධිකරණය ඊයේ (03) නියෝගයක් නිකුත් කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය කළේ ය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 50 කට අධික දේපොළක් උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත්, ඒ සඳහා නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම සැකකාරිය ඉකුත් වසර දෙකක කාලයේදී ඇයගේ නමට V-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක්, බී.එම්. ඩබ්ලිව්. මෝටර් රථයක්, මීගමුව ප්‍රදේශයේ රුපියල් කෝටි 35 ක අධික වටිනාකමකින් යුත් හෝටලයක් සහ උකස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 30 ක රන්භාණ්ඩ උකස් කර ඇති බවද විමර්ශනයේදී අනාවරණ වූයේ යැයිද පොලිසිය දන්වා සිටියේය.
මෙම විමර්ශනයට අදාළව සැකකාරියගේ නමට තිබෙන එම දේපොළ විකිණීම, පැවරීම හෝ අන්සතු කිරීම වළක්වමින් කොළඹ මහාධිකරණය මගින් අත්හිටුවීමේ නියෝගයක් ගෙන ඇතැයිද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරිහු අධිකරණයට දන්වා සිටියහ.
අදාළ සැකකාරිය මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට භාර දෙන ලෙස අධිකරණය ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කළේය.