මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ගිලන් රථ ලෙස ලියාපදිංචි කර නොමැති ගිලන් රථ බොහොමයක් පෞද්ගලික රෝහල් විසින් මේවන විට භාවිතා කරමින් සිටින බව වාර්තා වේ.
එසේ, මහරගම පිහිටි අයි.එම්.සී. (International Medical Care) නැත්නම් ආර්.එස්.කේ. කෙයාර් හට අයත් ගිලන්රථ සේවය ද එසේ ගිලන් රථ ලෙස ලියාපදිංචි නොකළ ගිලන් රථ භාවිතා කරණ බවට ශ්‍රී ලංකා මිරර් වෙත තොරතුරු ලැබී තිබේ.
මේ අනුව අපි එහි හිමිකරු වන රංජිත් සුසන්ත කුරුණාරත්න මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ එම ආයතනයේ එසේ ගිලන් රථයක් ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි නොකළ ගිලන් රථ 2ක් ඇති බවත්, ඒවා මේවන විට ගිලන් රථ ලෙස ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
ඒ සඳහා ලිය කියවිලි ගෙනැවිත් ඇතැයි ද ඔහු කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
“අපි ළඟ තමයි වැඩිම ගානක් ඔර්ජිනල් ඇම්බියුලන්ස් තියෙන්නේ…ලංකාවේ බහුතරයක් තියෙන්නේ කන්වර්ට් කරල රෙජිස්ටර් කරල නැති ඒ්ව තියෙන්නේ. LW – නොම්බර තියෙන ඇම්බියුලන්ස් 08ක් අපි ළඟ තියෙනවා….”
මේ අතර ඔහු කියා සිටියේ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් සතුව තිබූ ගිලන් රථ දෙකක්ද දීර්ඝකාලීනව අයිතිවන විදිහට ලබාගෙන ඇති බවයි.
එසේම මාතර හිමි නමක් සතුව තිබූ ගිලන් රථයක් (LW – 0485) ද තමා මුදල් දී ලබා ගත් බවත්, උන්වහන්සේ සතු තවත් ගිලන් රථයක් (LW – 0188) මිලදී ගැනීමට ගිවිසුම් ගසා ඇතැයි ද ඔහු කියා සිටියේය.
මේ අතර, අයි.එම්.සී. (International Medical Care) නැත්නම් ආර්.එස්.කේ. කෙයාර් හට අයත් ගිලන් රථ දෙකක් ලීසින් ආයතන විසින් අරන් ගිය බවත්, එම රථවලින් එක් රථයක් නැවත ලබාගත් බවත්, අනික් රථයට අධික මිලක් කීම නිසා එය නැවත ලබා නොගත් බවද රංජිත් මහතා පැවසීය.
ශාන්ත ජෝන් ගිලන් සේවයේත් හොර ඇම්බියලන්ස්
අප කළ සොයා බැලීමකදී ශාන්ත ජෝන් ගිලන් සේවයේත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නැති ගිලන් රථයක් ඇති බව සොයා ගැනීමට හැකි විය.
ඒ් සම්බන්ධයෙන් ශාන්ත ජෝන් ගිලන් සේවයේ කොමසාරිස් ළමා රෝග විශේෂඥ දොස්තර නිලාම් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ, එවැනි ගිලන් රථයක් නොමැති බවයි.
එවැන්නක් ඇත්නම් එය හොර ගිලන් රථයක් බවද ඔහු කියා සිටියේය.
අදාළ ගිලන් රථය භාරව සිටින බවට වාර්තා වන ශාන්ත ජෝන් ගිලන් සේවයේ කොළඹ දිසා කොමසාරිස් එම්.ඩී.පී.ඩී.සේනානායක මහතාගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ එසේ ගිලන් රථයක් ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නැති ගිලන් රථයක් ඇති බවත්, එය රෝගීන් ප්‍රවාහනය සඳහා යොදා නොගන්නා බවයි.
එය යොදාගනු ලබන්නේ එහි පුහුණු කටයුතු සඳහා බවද ඔහු වැඩිදුරටත් කීය.
කෙසේවුවද, අදාළ ගිලන් රථය ඉකුත් පාසල් රග්බි වාරයේදී රග්බි තරගවලදී තුවාල ලබන සිසුන් ප්‍රවාහනයට තබා තිබූ බවද මේ අතර වාර්තා වේ.
එසේම මේ ගිලන් රථය ඇත්තේ ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ දිස්ත්‍රික් අතිරේක කොමසාරිස්වරයකුගේ නිවසේ බවත්, එහි රියැදුු ලෙස කටයුතු කරන්නේ එම කොමසාරිස්වරයාගේ පියා බවද වාර්තා වේ.
මේ අතර, රොමිං, රෝයල් හා කිංග්ස් රෝහල්වල ද මෙසේ ලියාපදිංචි නැති ගිලන් රථ ඇති බව වාර්තා වේ.