පුවත්

රත්මලානෙන් හා යාපනෙන් අඩුවට රට යන්න පුලුවන්!

Published

on

රත්මලාන සහ යාපනය ගුවන් තොටුපොළ මගින් පිටත්ව යන සෑම පුද්ගලයකුගෙන්ම අය කරන ‘අපගමන බද්ද’ 50%කින් අඩු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ බදු උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය කියා සිටී.

ඒ අනුව අදාළ ගුවන් තොටුපොළෙ මගින් පිටත්ව යන පුද්ගලයන්ගෙන් මෙතෙක් අය කරන ලද ඇමෙරිකානු ඩොලර් 60ක් වූ අපගමන බද්ද ඩොලර් 30ක් දක්වා අඩු කර ඇතැයි ඇය සඳහන් කළාය.

රත්මලාන ගුවන් තොටුපොළෙන් පිටත්ව යන අයකුගෙන් අය කරන අපගමන බද්ද ලබන මාර්තු 26 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි සහ යාපනය ගුවන් තොටුපොළෙන් පිටත්ව යන අයකුගෙන් අය කරන අපගමන බද්ද ලබන ජුලි 11 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි මෙලෙස සංශෝධනය කර තිබේ.

‘‘අපගමන බද්ද යනු අලුතින් පනවපු බද්දක් නොවෙයි. මෙම පනතට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. 1961 වසරේ දී පමණ මෙම බද්ධ හඳුන්වා දී තිබෙනවා. 2003 වසරේ සිට මුදල් පනත හරහා අපගමන බද්ද ක්‍රියාත්මක කර තිබෙනවා. 2019 වසර වන විටත් මෙරටින් ගුවන් තොටුපොළකින් හෝ නෞකා මාර්ගයෙන් පිටව යන අයකුගෙන් ඩොලර් 60ක අපගමන බද්දක් අය කළා. 2019 එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑම සලකා බලා ඩොලර් 60ක් තිබූ අපගමන බද්ද ඩොලර් 50 දක්වා මාස 06කට අඩු කළා. නැවත 2020 පෙබරවාරි 01 වැනිදා සිට අපගමන බද්ද ඩොලර් 60ක් බවට පත් වුණා. එම අපගමන බද්ද රත්මලාන සහ යාපනය ගුවන් තොටුපොළ සඳහා පමණක් සංශෝධනය කරමින් මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.’’ යැයි තනුජා පෙරේරා වැඩිදුරටත් සඳහන් කළාය.

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ සමග මෙහෙයුම් ආරම්භ කරනු ලබන ජාත්‍යන්තර ගුවන් සමාගම් සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට වසර දෙකක කාලයක් මෙම අපගමන බද්දෙන් නිදහස් කර තිබේ.

ඒ අනුව මත්තල, රත්මලාන හෝ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හැර මෙරට වෙනත් ගුවන් තොටුපොළකින් හෝ නෞකා මාර්ගයෙන් පිටව යන ඕනෑම අයකු විසින් ඩොලර් 60ක අපගමන බද්දක් ගෙවිය යුතු බව ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

Trending

Exit mobile version