පුවත්

රති ක්‍රීඩාවේ වීඩියෝ පෙන්නා මැණික් මුදලාලිගෙන් ගරන්න හැදූ කත මාට්ටු

Published

on

මැණික් ව්‍යාපාරිකයකු සමග ඉන්දි‍යාවේදී අඹුසැමියන් ලෙස හැසිරී ජංගම දුරකතනයෙන් එය වීඩියෝ කර එම වීඩියෝව නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ හැත්තෑවක කප්පමක් ඉල්ලූ බව කියන කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් හා කතක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

බේරුවල පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් විසින් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ව්‍යාපාරිකයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවේ ගොස් සිටියදී සැකකාර කාන්තාව හමුව ඇති අතර දෙදෙනා අතර හාදකම දුරදිග ගොස් ඔවුන් එරට හෝටලයක රැය පහන් කර ඇත.

එහිදී මොවුන් හැසිරෙන ආකාරය සැකකාර කාන්තාව ඇයගේ ජංගම දුරකතනයේ හොර රහසේ පටිගත කර ඇතැයි පොලිසිය කියයි.

මොවුන් දෙදෙනා ඉකුත් 14 වැනිදා ලංකාවට පැමිණ තිබිණි.

කාන්තාව විසින් ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් ගෙන ඔහු සමග අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය සිය ජංගම දුරකතනයේ පටිගතව ඇති බවත් තමන්ට රුපියල් ලක්ෂ හැත්තෑවක් නොදුනහොත් ඒවා ව්‍යාපාරිකයාගේ බිරියට සහ දරුවන්ට යවන බවට තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

සැකකාරියගේ කීමට බිය වූ ව්‍යාපාරිකයා ඇයගේ ගිණුමට රුපියල් ලක්ෂ දහයක් බැර කර ඇති අතර දින කිහිපයකට පසු නැවතත් ඇය ඉතිරි මුදල් ඉල්ලා තර්ජනය කර තිබිණි.

දෙවැනි වර මුදල් ඉල්ලා කරදර කළ විට මෙම ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇත.

ඉතිරි මුදල් ලබා ගැනීමට කළුතර නගරයට එන්නැයි කියා සැකකාර කාන්තාවට දන්වා ඇය අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු ක්‍රියාකළහ.

සැකකාර කාන්තාව සමග මෝටර් රථයේ පැමිණි අනෙක් පුද්ගලයා කප්පම් ලබා ගැනීමට අනුබල දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

ඔහු රියැදුරකු ලෙස රැකියාව කරන අයකු බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාව මසකට කිහිපවාරයක්ම තනිවම ඉන්දියාවට පිටත්ව ගොස් රන් භාණ්ඩ සහ රෙදිපිළි ගෙනැවිත් ඒවා ව්‍යාපාරිකයන්ට ලබා දී ලාභයක් උපයාගෙන ඇතැයි පොලිසිය කියයි.

Trending

Exit mobile version