පුවත්

රනිල්, චම්පිකව සිරිකොතට ගෙන්වාගෙන මැතිවරණ තියන බවට පොරොන්දුවක් දීලා!

Published

on

ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ජනපතිවරයා ඒ බව පවසා ඇත්තේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (25) එජාප සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හමුවූ අවස්ථාවේදීය.

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ද එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම සිදුකර තිබේ.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කරගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවය. 

ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වනවිට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද පවසා ඇත.

දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී සිහිපත් කර ඇති ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන පක්ෂවල ද සියලු සාධනීය යෝජනා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක් කරගැනීමට තමා පසුබට නොවන බවද කියා තිබේ.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කෙසේවුවද, අදාළ ඉල්ලීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුන්වැනි ණය වාරිකය මුදා හැරීමට කලින් ලබන මාර්තු ශ්‍රී ලංකා ගමනේදී අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යන බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

Trending

Exit mobile version