පුවත්

රාජ්‍ය ආදායමින් තවම බාගයක්වත් එකතුකරගෙන නෑ

Published

on

මේ වස‍ර ඇතුළත රුපියල් බිලියන 3101ක රාජ්‍ය බදු ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුව ඇතැයි රාජ්‍ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කියයි.

කෙසේවුවද, ඉලක්කගත එම ආදායමින් මේ වනවිට එකතුකරගෙන ඇත්තේ රුපියල් බිලියන 1711ක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙළිකර තිබේ.

ඒ සමස්ථ ආදායමින් 47%කි.

ඉතිරි සියයට 53 ජය ගැනීම ආදායම් එක්රැස් කරන රාජ්‍ය ආයතන තුනේ වගකීම බවට පත්ව තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් මේ වසරේ රුපියල් බිලියන 1667ක ආදායමක් එක්රැස් කළ යුතු වේ.

ඉන් දැනට එක් කර තිබෙනුයේ රුපියල් බිලියන 797ක් බව පැවසේ.

ඉදිරි මාස 4 තුළ ඔවුන් විසින් රුපියල් බිලියන 870ක මුදලක් එක්රැස් කළ යුතුය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් පෙර වසරවලට වඩා වැඩි ආදායමක් මේ වසරේ එක්රැස් කිරීමට ඉලක්ක කොට ඇත.

මේ තත්ත්වය මත වසර අවසන් වන විට රුපියල් බිලියන 1390ක මුදලක් එක්රැස් කිරීමේ අභියෝගයට දේශීය ආදායම්, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තු මුහුණ දී සිටී.

Trending

Exit mobile version