පුවත්

රාජ්‍ය ආයතන පිටට නොදී තියාගන්න ජනතා සමාගමක්

Published

on

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඒවා විදේශියන් අතට පත්වීම වැළැක්වීම සඳහා එම ආයතන මිළදී ගැනීමට ශ්‍රී ලාංකික ජනතා සමාගමක් පිහිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ජනතා සමාගම පිහිටුවීමේ සමාරම්භක උත්සවය හෙට (27) සවස 03.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ B ගොඩනැගිල්ලේ, ජැස්මින් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී මෙම ජනතා සමාගමේ ප්‍රවර්තකයින් ලෙස සහභාගී වීමට ශ්‍රී ලංකාවේ සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකික අවංක ව්‍යාපාරිකයන් පිරිසකට ආරාධනා කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ජනක විජයපතිරත්න මහතා පවසයි.

මෙම ජනතා සමාගමක කොටසක මිල රුපියලක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට තමන් කැමති ඕනෑම කොටස් ප්‍රමාණයක් මිළදී ගෙන මෙම සමාගමේ කොටස්කරුවෙකු වීමට අවස්ථාව පවතින බව ජනක විජයපතිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

(මූලාශ්‍රය : අද)  

Trending

Exit mobile version