Connect with us

පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ අවසන් කටයුතු අද ( Update )

Published

on

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය.

වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කෙරෙනු ඇත.

මේ වනවිට දේහය රුහුණු මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද (20) සවස 5.00 ට ගාල්ල, දඩල්ල සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

කලක් අසනීපව සිටි වික්ටර් අයිවන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබුණේ ගාල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී යි.


(පෙර පුවත 2025 ජනවාරි 19 ප.ව 10:35 )

රාවයේ සමාරම්භක කර්තෘ, ජවිපේ “පොඩි අතුල” මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ විකල්ප ධාරාවේ පුවත්පතක් වු රාවය පුවත්පතේ සමාරම්භක කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිය දිවි ගමන නිම කර තිබේ.

කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගත වී සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය.

වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ⁣ජනවාරි 20 වැනිදා සවස 5ට සිදු කිරීමට නියමිතය.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

මෙරට ගවේශණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගමියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් හැඳින්වේ.

හෙතෙම දේශපාලන විචාරයකු, සමාජ විශ්ලේශයකු, ග්‍රන්ථ රචයෙකු වැනි කේෂත්‍ර කිහිපයකම කටයුතු කළේය.

ජවිපෙ පොඩි අතුල

කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වු වික්ටර් අයිවන් “පොඩි අතුල” නමින් පක්ෂ විසින් හඳුන්වනු ලැබ තිබේ.

එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ආයුධ සන්නද්ධ කැරැල්ලට සම්බන්ධව වූ වික්ටර් අයිවන්, ඒ කැරැල්ල පිළිබඳව වූ 71 මහ නඩුවේ 7 වැනි විත්තිකරු ය.

අඳ ගොවිතැනේ අභියෝග, 71 කැරැල්ල, දෙමළ අභියෝගය, පන්සලේ විප්ලවය, චෞර රැජිණ සහ දේශපාලනයේ පවුල සහ කුලය යන කෘති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත කෘති අතරින් කිහිපයක් වේ.

ඔහු කතෘ සංසදයේ ආරම්භක සාමාජිකයෙක් ද වේ.

පුවත්

CID අධ්‍යක්ෂ ධුරයට ශානි අබේසේකර

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරීම සිදුකර ඇත.

Continue Reading

පුවත්

දෙවුන්දර අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි (Update)

Published

on

By

දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් ධීවරයින් 04 දෙනෙකු අතුරින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ අදාල ධීවරයින්ගේ සිරුරු මෙලෙස සොයාගත් බවය.


(පෙර පුවත 2025 ජුනි 28, පෙ.ව.11:21)

අතුරුදහන් ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක්

මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන ලෙස ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරයි.

එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්වී තිබුණි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නම් කුඩා ධීවර බෝට්ටුවේ ගමන්කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින නඳුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නඳුන් කුමාර බව වාර්තා වෙයි.

Continue Reading

පුවත්

‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් නවීකරණය ව්‍යාපෘතිය ඇරඹේ

Published

on

By

පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස, ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා එසේම, මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා එයාකාරයෙන්ම කටයුතු කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.

රට නව තලයකට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහිදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, කුඩා ආණ්ඩුවලට සහ එක් එක් බල අධිකාරින්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුගය වත්මන් ආණ්ඩුව විසින් අවසන් කර ඇති බවද පැවසීය.

එසේම මහජන දේපළ සොරකමට සමාජයක් ලෙස බිය විය යුතු බවත් සෑම දෙනාම නීතියට යටත් විය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මේ බව සඳහන් කළේ ‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දිනකට රිය අනතුරුවලින් අට දෙනකු පමණ මිය යන බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන බවයි. ඒ අනුව ශක්තිමත් මාර්ග නීති පද්ධතියක අවශ්‍යතාව පැහදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාර්ග තදබදය වළක්වා ගැනීමට, විෂ වායු විමෝචනය අවම කර ගනිමින් පාරිසරික හානිය අවම කර ගැනීමට සහ වාහන ආනයනය වෙනුවෙන් රජය දරන අධික වැය බර අඩු කර ගැනීම සදහා පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන්නේය.  

ඒ අනුව, මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය, දියුණු, පහසුකම් සහිත සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ සඳහා රජයෙන් සිදු කරන ආයෝජනවලට අමතරව, පෞද්ගලික අංශයටද ආයෝජන අවස්ථා විවර කර තිබෙන බව පැවසීය. 

ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැළපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවයකින් සන්නාමගත කිරිමට රජය සමඟ එක් වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පෞද්ගලික අංශයට ආරාධනා කළේය.  

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන  පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. 

මාර්ග ආරක්ෂණ  ක්‍රියාකාරී සැලැස්ම (The  Road Safety Action Plane 2025 – 2026) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙහිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කළේ විශේෂයෙන් මාර්ග තදබදය නිසා පමණක් වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයට 2%-3% අතර ප්‍රමාණයක් අහිමි වන බවයි. 2012 වසරෙන් පමණ පසු ජනතාව විශාල වශයෙන් පොදු ප්‍රවාහනයෙන් ඉවත් වෙමින් සිටින අතර ඒ අනුව අනාගතයේදී පිට්ටනි තරම් පාරවල් හැදුවත් ප්‍රවාහන ගැටලු සම්පූර්ණයෙන්ම 
නොවිසඳෙන බැවින් ඒ වෙනුවට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම අද අනිවාර්ය වී ඇති බවයි.

ඒ වෙනුවෙන් ඉදිරියේදී සිය අමාත්‍යාංශය කොට්ටාව සිට අවිස්සාවේල්ල දක්වා ද්විත්ව මාර්ගය සහ අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා නව දුම්රිය මාර්ග ඉදිකිරීම, භාණ්ඩ ප්‍රවාහනය  සදහා දුම්රිය සේවා යොදා ගැනීමට අදාළ පහසුකම් සංවර්ධන කිරීම, දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී සංචාරක කර්මාන්තය සදහා දැනට අතහැර ඇති නුවරඑළිය – නානුඔය දුම්රිය මාර්ගය පුද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීම මෙන්ම ඉදිරි අයවැයෙන් නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට යෝජනා කිරීමටද බලාපොරොත්තු වන බව පැවසීය.

එම්.අයි.සී.ඩී ඇසෝසියේට්ස් සම නිර්මාතෘ සහ ප්‍රධාන වාස්තු විද්‍යාඥ මුරාඩ් ඉස්මයිල් මහතා විසින් මෙහිදී දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ සැලැස්ම ඉදිරිපත් කරන ලදී.  එසේම, ජාතික විද්වත් සංවිධානය (NIO) වෙනුවෙන් වරලත් ඉංජිනේරු එම්.එම්.එස් මොරේමඩ මහතා මරදාන, මීරිගම හා මොරටුව දුම්රිය ස්ථානවල ක්‍රියාත්මක වූ නියමු ව්‍යාපෘතිවල අත්දැකීම් පැහැදිලි කළ අතර, අවශ්‍ය අවස්ථාවලදී තාක්ෂණික මාර්ගෝපදේශන සැපයීම සඳහා තම සංවිධානයේ සහාය ස්වේච්ඡාවෙන් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

මෙයට සමගාමීව, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග විශාල ප්‍රමාණයක්(429) පවතින බවත්, ඒයින් ප්‍රධාන වශයෙන්  134ක් පළමු වටයේදී ආරක්ෂිත තත්ත්වයට ගෙන ඒම මගින් අනතුරු අඩු කරගත හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (සංඥා හා විදුලි සංදේශ) වී.සී.ඊ ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

‘Dream Destination’ වැඩසටහන පිළිබඳව රැස්ව සිටි පිරිස සමග අදහස් හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු කෙරුණු අතර ඔවුන්ට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීම සදහා වන මාර්ගගත ක්‍රමවේදය හදුන්වා දීමද සිදු විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, මෘදුකාංග ඉංජිනේරු සුමුදු රත්නායක යන මහත්වරු සහ පෞද්ගලික අංශයේ ප්‍රකට සමාගම් හා ආයතන රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට සහභාගී වූහ. 

ජනාධිපති මාධ්‍ය අංශය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved