Connect with us

පුවත්

රැකියා අහිමිවූවන් ගැන බලන්න ක්‍රියාකාරී කමිටුවක්

Published

on

රට තුළ මතු වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාළ කමිටුව පත් කිරීමට පියවර ගැනිණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ක්‍රියාකාරී කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරු කටයතු කරති.

ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යවරයාව සිටියදී ත්‍රෛපාර්ශවික කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව විසින් රැකියා අහිමිවූවන් යළි රැකියා ගත කිරීම සදහා වන ක්‍රමෝපාය වැඩපිළිවෙළක් සකස් කරනු ලැබූ අතර එය ක්‍රියාත්මක කිරීමේ වගකීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට පැවරිණි.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙස ලෝක කම්කරු සංවිධානයෙන් ඉල්ලා තිබු අතර, ලෝක කම්කරු සංවිධානය විසින් සමීක්ෂණයක් සිදුකර එහි අවසන් වාර්තාව ද අමාත්‍යාංශය වෙත භාර දී තිබිණි.

අනතුරුව ත්‍රෛපාර්ශවික කමිටුව විසින් සාකච්ඡා වට ගණනාවකදී දීර්ඝ ලෙස සාකච්ඡා කර දීර්ඝ කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන වශයෙන් හඳුනාගෙන තිබූ  විසඳුම් ක්‍රියාත්මක කිරීම අද දින පත් කළ කමිටුවට පැවරේ.

ඒ අනුව ඉදිරියේදී රැකියා අවස්ථාවන් වැඩි වශයෙන් බිහිවන ක්ෂේත්‍රයන් හඳුනාගෙන එම රැකියා අවස්ථා වෙත පුද්ගලයින් යොමු කිරීම සඳහා වන සුදුසුකම් සපුරාලීම සඳහා සූදානම් කෙරෙන වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved