පුවත්

රිමාන්ඩ්එකේ ඉන්න IPගේ කට කපලා!

Published

on

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකුගේ මුඛය තියුණු ආයුධයකින් කපා දමමින්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ දී ඊයේ (11) ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාරය තුළ දී අදාළ ප්‍රහාරය එල්ල කර ඇත්තේ විදෙස්ගත පාතාලයේ උපදෙස් මත බවද පැවසේ.

එම ප්‍රහාරයෙන් පොලිස් පරීක්ෂකවරයාගේ මුඛ ප්‍රදේශයට තුවාල වී ඇති බවත්, ඔහුට මැහුම් 08 ක් දමා ප්‍රතිකාර කර තිබෙන බවත් මේ අතර වාර්තා වේ.

මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නිරතව සිටියදී පාතාල ක්‍රියාකාරකම් මැඬලීමට ක්‍රියා කළ අයකු බවත්, ඒ අනුව බන්ධනාගාරය තුළ දී රිමාන්ඩ් භාරයේ පාතාල සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක් වී ඇති බවත් වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 454,200 අල්ලස් මුදලක් ඉල්ලා එයින් රුපියල් 154,200 ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ (දෙමටගොඩ) විමර්ශන ඒකක 07 තුළදී එය ලබා ගැනීමට උත්සාහ කරද්දී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබිණි. 

එම සැකකරු මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

Trending

Exit mobile version