පුවත්

රුපියල් මිලියන පන්සීයක් වැඩිපුර ගෙවා ප්‍රතිජීවක ඖෂධයක් ගේන්න යයි!

Published

on

රුපියල් මිලියන පන්සීයක් වැඩිපුර ගෙවා ප්‍රතිජීවක ඖෂධයක් මිලදී ගැනීමේ සූදානම ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

කොළඹදී ඊයේ(24) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සන්ධානයේ විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව ප්‍රකාශ කළේ ඇමැතිවරයා හා නිලධාරින්ගේ ටෙන්ඩර් මෙම කඹ ඇඳීමෙන් ප්‍රතිජීවක ඖෂධ හිඟයක් නිර්මාණය වන බවයි.

මේ වන විට Cefuroxime කාණ්ඩයේ ප්‍රතිජීවක ඖෂධ ලක්ෂ 25ක එන්නත් තොගයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර ඇති බවත් ඩොලර් සත විසිපහට මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වූ සමාගම වෙනුවට ඩොලර් සත 75කට ඉදිරිපත් වූ සමාගමට ටෙන්ඩර් ලබා දීම සඳහා අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේදැයි සැකයක් නිර්මාණය වන අන්දමට සෞඛ්‍ය අමාත‍්‍යංශය කටයුතු කරන බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

අඩු මුදලට ඖෂධ ලබාදීමට ඉදිරිපත් වී ඇති සමාගම් හරහා මීට පෙර එන්නත් අනූදහසකට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇතත් අදාළ එන්නත් ලක්ෂ 25 ක ප්‍රමාණය මිලදී ගැනීමේදී අඩු මුදලට ලබා දී ඇති සමාගම හා ගුණාත්මකභාවය ප්‍රශ්න කරමින් වැඩි මුදලට ලබාදෙන සමාගම නිර්දේශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් කමිටු ක්‍රියාත්මක වන්නේ ඇයි දැයි යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

මෙම ප්‍රශ්න සහගත ගනුදෙනුවෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන අභියාචනා කමිටුව වෙත නිර්දේශය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වන බවද හෙතෙම කීය. 

අදාළ නිර්දේශය කැබිනට් මණ්ඩලයට යොමු කොට ක්‍රියාත්මක කරනවා වෙනුවට අමාත්‍යවරයා වැඩි මුදලට ටෙන්ඩර් ලබාදීමට උත්සුක වන්නේ නම් ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වී මෙම ගනුදෙනුව ගැන විමර්ශනය කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

මීට පෙර ශ්‍රී ලංකාවට හදිසි ඖෂධ මිලදී ගැනීමේදී ඖෂධවල ගුණාත්මක භාවය විද්‍යාත්මකව පරීක්ෂා කිරීමට වේලාවක් නොමැති බව කියා ලිපිගොනු පරීක්ෂාවෙන් පමණක් ඖෂධ ගැනීමට යන බව සෞඛ්‍ය අමාත්‍යවරයා හා ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කර තිබූ බව වෛද්‍යවරයා කීය. 

මෙම ගනුදෙනුවේදී ඖෂධ නියාමන අධිකාරිය රසායනාගාර වාර්තාවලට ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බවට නිර්දේශ නිකුත් කිරීම අවශ්‍ය වූ විට එය කබරගොයා තලගොයා කර ගැනීමක් යැයි ද වැඩිදුරටත් පැවැසීය.

Trending

Exit mobile version