පුවත්

රුපියලේ අගය පහත වැටීම වළක්වන්න ඩොලර් බිලියන 5ක් මුදා හැරලා

Published

on

රුපියලේ අගය පහත වැටීම වළක්වන්න ඩොලර් බිලියන 5ක් මුදා හැරලාපසුගිය සති කිහිපය මුළුල්ලේම රුපියල ක්‍රමානුකූලව ශක්තිමත් වූයේ ඉකුත් කාල පරිච්ඡේදවල මෙන් ඩොලර් අලෙවි කිරීම නිසා නොව රට තුළට විදේශ විනිමය ඉපැයුම් ගලා ඒම ඉහළ යාම හේතු කොටගෙන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

සංචාරක පැමිණීම් ඉහළ යාම, විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යාම, සමපේක්ෂණ චේතනාවෙන් ඩොලර් රඳවාගෙන සිටි පාර්ශ්වයන් ඩොලර් කඩිනමින් අලෙවි කිරීමට ක්‍රියා කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙරටට ලැබෙන බවට ඇති විශ්වාසය නිසා රුපියල ශක්තිමත් වන බවට විනිමය වෙළෙඳපළ තුළ පවත්නා විශ්වාසය වැනි හේතු ගණනාවක සමුච්චිත ප්‍රතිඵලයක් වශයෙන් රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රුපියලේ අගය පහත නොවැටී පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපළට 2012, 2015, 2016 හා 2018 වර්ෂවල බරපතළ ආකාරයෙන් මැදිහත් වීම් සිදු කර තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

එසේ සිදුව ඇත්තේ රුපියල කඩා වැටීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විටින් විට වෙළෙඳපළට ද්‍රවශීලතාව ලබා දීමට විදේශ විනිමය සංචිත භාවිත කරමින් ඩොලර් අලෙවි කිරීම හේතු කොටගෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව 2015දී ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ විනිමය විකුණුම් ප්‍රමාණය (වෙළඳපළට මුදා හළ ප්‍රමාණය) ඇමෙරිකානු ඩොලර් මිලියන 3,253 ක් වු බවද 2016 දී එය ඩොලර් මිලියන 768ක් වූ බවද 2018 දී එය ඩොලර් මිලියන 1120 ක් වීමෙන් වසර තුනකදී ඩොලර් බිලියන පහකට වඩා වැඩි මුදලක් වෙළඳපළට මුදා හැර තිබෙන බවද අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් තොරතුරු දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද පැවසීය.

මෙම විනිමය අනුපාත තීරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙරත් එනම් 2012 වසරේදීත් ශුද්ධ විදේශ විනිමය විකුණුම් ප්‍රමාණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 1,112 ක් වෙළෙඳපළට මුදා හැර තිබෙන බවද ආචාර්ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මූලාශ්‍රය – සිළුමිණ

Trending

Exit mobile version