පුවත්

රූපවාහිනියෙන් අජන්ත එළියට: නිපුන ඇතුළට

Published

on

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කිරීම සඳහා අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ මෙතෙක් එහි සේවය කළ අජන්ත සෙනෙවිරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟය.

කෙසේවුවද, අජන්ත මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිසි ආකාරයට ලබා නොදීම නිසා ගැටලුවක් මතුව තිබූ අතර මේවන විට එය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලැබීමත් සමඟ ඒ ගැටලුව අවසන්වී ඇතැයි පැවසේ.

සෙනවිරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකළ යුතු පුද්ගලයා සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොවීම නිසා ඔහු එය ලබාදී තිබුණේ රූපවාහිනියේ සභාපතිවරයා වෙතය.

සාමාන්‍යයෙන් අදාළ ධූරය සඳහා පත් කිරීම් සිදුකරනු ලබන්නේ විශයභාර අමාත්‍යවරයා විසින් වන අතර ඒ අනුව එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි බාරදිය යුතුවන්නේ අමාත්‍යවරයාට හෝ අමාත්‍යංශ ලේකම්වරයාටය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන නිපුන වාහලතන්ත්‍රීගේ මහතා පත් කිරීමට නියමිත බව මේ අතර වාර්තා වේ.

ඒ මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයකු වන ඒ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ පශ්චාත් ඩිප්ලෝමාධාරියෙකි.

ජාත්‍යන්තර වෙළඳ ව්‍යාපාර හා කළමනාකරණ පිළිබඳ බ්‍රිතාන්‍ය බකින්හැම් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇති ඔහු මූල්‍ය අපරාධ විමර්ශනය හා ජාත්‍යන්තර මූල්‍ය හා ගනුදෙනු නියාමනය පිළිගත් ප්‍රවීනයෙකි.

අජන්ත සෙනවිරත්න මහතා සභාපතිවරයා වෙත යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වේ.

Trending

Exit mobile version