Connect with us

පුවත්

රේගුවේ අවුල් රැසක් කෝපා කමිටුවේදී එළියට

Published

on

ශ්‍රී ලංකා රේගුවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී අනාවරණය වීම සිදු විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා රේගුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරයසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් ගෙන්වූ ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසූ දේශීය තොරතුරු ඉදිරිපත් කිරීම මගින් අදාළ ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමු විය. මේ අනුව අදාළ පෞද්ගලික ආයතනය ඇ.ඩො. 5,139,621 ක් ලෙස ගුදම්ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේදී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඇ.ඩො. 6,350,364 ක් ලෙස වටිනාකම දක්වා ඇ.ඩො. 1,210,743ක් අදාළ ආයතනයට වැඩි පුර ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබුණි. මේ අනුව මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කරන ලදි.

එසේම ශ්‍රී ලංකා රේගුව නව තාක්ෂණය හඳුන්වාදීමේ තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට “අසිකුඩා” නම් පද්ධතියක් දත්ත පවත්වාගෙන යාමට භාවිතා කරන බවත් එය රැමිස් පද්ධතිය හා සම්බන්ධව පවතින බවත්ය. එසේම නව තාක්ෂණ පද්ධතියක් ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය.

තවද රේගු ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී අවධානය යොමුවූ අතර පැමිණි නිලධාරීන් සඳහන් කළේ 2024 ජනවාරි මස මේ සම්බන්ධයෙන් වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

එසේම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අගුරු ගෙනඒමේදී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් අඩුවෙන් අයකර තිබූ රු. මිලියන 187 කට ආසන්න වැට් බද්ද නැවත අයකරගැනීමට සිදු කළ රේගු විමර්ශනයෙන් වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රු. මිලියන 205ක දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලෙන් 70%ක් නිලධාරීන්ගේ ත්‍යාග හා සුභසාධන වෙනුවෙන් වෙන්කිරීම පිළිබඳ කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදි. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට මෙවැනි කරුණු නැවත නොවන ආකාරයේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කොට ඇති බවයි.

රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් අඟිලි සලකුණු සටහන් යොදාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු වූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ ඉතාමත් රහසිගත මෙහෙයුම් සිදු කිරීමේදී සහ ප්‍රායෝගික තත්ත්වයේදී ඇතැම් මෙහෙයුම් සිදු කිරීමේදී ඇගිල සලකුණු සටහන් කිරීම අපහසු තත්ත්වයක් පවතින බවයි. මෙහිදී එවැනි වැදගත් මෙහෙයුම්වලදී ලිඛිත සටහනක් යෙදීමට අනෙකුත් සාමාන්‍ය රාජකාරීවලදී ඇඟිලි සලකුණ යෙදීමටත් කෝපා කමිටුව යෝජනා කළේය.

ආනයනය සහ අපනයනය කරන බහාලුම් පරීක්ෂා කිරීමට මිලදීගත් ස්කෑනර් යන්ත්‍රය මගින් අපේක්ෂිත සැලසුම්වලට ලඟාවීමට නොහැකිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙස කමිටුව නිර්දේශ කළේය.

එසේම රේගුව සන්තකයේ ඇති නිදහස් නොකළ වාහන සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, සුරේන් රාඝවන්, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ජේ.සී. අලවතුවල, වීරසුමන වීරසිංහ, ඉසුරු දොඩන්ගොඩ, සහන් ප්‍රදීප් විතාන සහ  ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading

පුවත්

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

Published

on

By

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබේ.

මේ වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේ ගතවූ කාලය තුළ දී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බව සඳහන්ය.

මේ වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් වන අතර එය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර අප්‍රේල් මාසයේ උත්සව සමයේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත්ව තිබේ.

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මඟින් පිළිඹිබු වන පරිදි ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මැයි මාසය තුළ දී විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Continue Reading

පුවත්

බස් රියදුරන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

Published

on

By

බස් රථ රියදුරන් ආසන පටි පැළදීමේ නීතිය අද (01) සිට අනිවාර්ය බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළදීම අනිවාර්ය වේ.

පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරු සීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා විය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන අතර එය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම ද අද (01) සිය යළි ආරම්භ කෙරෙන බව පොලීසිය පවසයි.

පසුගිය වසරේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂාවක දී හඳුනාගෙන ඇත්තේ රථවාහන 8,788ක් ධාවනයට නුසුදුසු බවය.

මෙම තත්ත්වය මෙන්ම රථවාහන වල අමතර කොටස් සවිකිරීම ද අනතුරුවලට ප්‍රධාන හේතුවක් බවට හඳුනාගෙන තිබේ.

විවිධ අවස්ථාවලදී චක්‍රලේඛ මගින් ලබාදී ඇති අවසර මත බස් සහ ත්‍රි රෝද රථවල අමතර අලංකරණ කොටස් සවි කළද ඒවා සිදුකළ යුතු වන්නේ නිර්ණායක වලට යටත්වය.

අද  (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන මෙම අනාරක්ෂිත කොටස් ඉවත් කිරීමේ තීරණය සමග එකඟ වන බව බස් සහ ත්‍රි රෝද රථ සංගම් පවසයි..

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved