Connect with us

පුවත්

රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරු සිංගප්පූරුවෙත් නැහැ

Published

on

දැඩි මත භේදයට තුඩු දුන් රෝයල් පාක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී පසුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සමාව ප්‍රදානය කර නිදහස් කිරීමෙන් අනතුරුව රටින් පිටවූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් ලංකා රජයට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම වග උත්තරකරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට අදාළ ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම වගඋත්තරකරු සිංගප්පූරුවේ සිටින බවට මුලින් ලැබුණු තොරතුරුවලට අනුව මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බවයි.

එහෙත් එම වගඋත්තරකරු සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා දැනුම් දුන්නේය.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා සඳහන් කළේ මෙම නඩු තීන්දුව නිකුත්කොට වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණද මෙම වගඋත්තරකරු සොයා ගැනීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.

විනිසුරු යසන්ත කෝදාගොඩ රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම වග උත්තරකරු පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා මාර්ගයෙන් කරුණු සොයා බැලුවේ දැයි විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ආගමන හා විගමන පාලකවරයාගෙන් වාර්තා කැඳවා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ඊට අමතරව මෙම වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු යොදා තිබුණ ද මෙම නඩුකරයට අදාළ මුල් නඩු ගොනුව සොයා ගැනීම පමා වීම හේතුවෙන් එම කටයුතුවල යම් පමාවක් ඇති වී තිබෙන බවද රජයේ නීතිඥවරයක් පැවැසුවේය.

කෙසේ වෙතත් නොපමාව මහාධිකරණය වෙතින් වරෙන්තුවක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවත් එම උත්සාහය සාර්ථක නොවුණොත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම යළි ජූලි මස 28 වැනිදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරයාට නියෝග කළහ.

පුවත්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ඩිජිටල් ක්‍රියාවලිය වේගවත් කෙරේ

Published

on

By

රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි පියවරක් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් ප්‍රතිසංස්කරණයට අදාළ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාව ඊයේ (17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වා ඇති අතර, අමාත්‍යාංශයේ අභ්‍යන්තර සේවා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා සිදුකරන කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේද සහයෝගයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කරනු ලැබ තිබිණි.

විදෙස් දූත මණ්ඩල සේවා ඩිජිටල් ලෙස කළමනාකරණය, පුළුල් වූ ඩිජිටල් කොන්සියුලර් සේවා හඳුන්වා දීම සහ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දෙන සේවා සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙහිදී  වැඩි අවධානයක් යොමු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

දේශීය සහ විදේශීය පරිශීලකයින්ට තොරතුරු සහ සේවා සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහතික කරමින් පරිශීලක-හිතකාමී වෙබ් අතුරු මුහුණතක් හඳුන්වා දීමේ සැලසුම්ද මෙහිදී අනාවරණය කෙරිණි.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් සහ වෙනත් නිල ලේඛන ඉදිරිපත් කිරීම වැනි ක්‍රියා පරිපාටි සරල කිරීම පිළිබඳවද මෙහිදී සලකා බැලුණි.

මෙම ප්‍රතිසංස්කරණ මඟින් පරිපාලන ප්‍රමාදය අවම කිරීමත්, පරිශීලකයන්ගේ පහසුව සැලකිය යුතු මට්ටමකින් වැඩිදියුණු කිරීමත් අපේක්ෂා කෙරේ.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසාද් පියසේන, කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිර්මල පරණවිතාන, මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැ.බ. අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යතර කටයුතු) පී.ජී.ජී.එස්. යාපා යන මහත්වරු  ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Continue Reading

පුවත්

බූස්සේ රැඳවියන් පිරිසක් විරෝධයක් අරඹයි

Published

on

By

බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (18) උදෑසන සිට මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවෙන බව සඳහන් වෙයි.

Continue Reading

පුවත්

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි (වීඩියෝ)

Published

on

By

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved