Connect with us

පුවත්

ලංකාවේ නව ආයෝජන සඳහා ජනපතිගෙන් ජපන් ආයෝජකයන්ට ආරාධනාවක්

Published

on

ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  “ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජන සඳහා ඇති අවස්ථා”යන මැයෙන් අද (26) පෙරවරුවේ ටෝකියෝ නුවර දී පැවති  ව්‍යාපාරික වට මේස සාකච්ඡාවකට එක්වෙමිනි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් JETRO ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම හමුව සංවිධානය කර තිබිණි. 

ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමට ගෙන ඇති නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ මෙන්ම ඒ සඳහා වූ සිය කැපවීම අවධාරණය කළේය.

අත්‍යවශ්‍ය ආර්ථික හවුල්කරුවෙකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවත් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත  හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. 

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ නිපුණ ශ්‍රම බලකාය  ජපාන සමාගම්වලට කලාපය තුළ සිය මෙහෙයුම් පුළුල් කිරීමට දොරටු විවර කරනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගනිමින් තිරසර ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ ජනාධිපතිවරයාගේ කැපවීම මෙම ව්‍යාපාරික වට මේස සාකච්ඡාව පුරාවටම මනාව තහවුරු කෙරිණි. 

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ හමුවකට ද එක් විය.

ජපානයේ ඩිජිටල්කරණය  පිළිබඳ අමාත්‍ය ටාරෝ කෝනෝ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.  ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමේ  වැඩපිළිවෙළ පිළිබඳ එහිදී ජනාධිපතිවරයා  කරුණු පැහැදිළි කළ අතර, ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ට්‍රාන් ලූ ක්වාන්ග් (Trần Lưu Quang) මහතා අතර සාකච්ඡා ද ටෝකියෝ නුවරදී පැවැත්විණි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව එහිදී නායකයන්ගේ අවධානය යොමු වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved