Connect with us

පුවත්

ලංකාව – හංගේරියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තබයි

Published

on

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 30කි.

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම වෙනුවෙන් විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ  Gyorgyi Rehoregh සහ විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිමිකම් සහ අයකරගැනීම් ප්‍රධානී  Adrienn Hegyi Szénásine අත්සන් කර ඇත.

නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, හංගේරියානු අපනයන ණය රක්ෂණ සමාගම, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබාදීමට එකඟවී තිබේ.

හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

පුවත්

අල්ලස් කොමිසම අල්ලන්න එනවයි කියා සූරියා කලින් ඇප ඉල්ලයි

Published

on

By

අල්ලස් කොමිසමේ නිලධාරීන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින්, එය වළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරයෙකු වන සූරියා ප්‍රියංගනී සිරිමාන්න මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ගොනු කර තිබේ.

ලබන 8 වැනිදාට එය සළකා බැලීමට දින නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, එදිනට සූරියා ප්‍රියංගනී සිරිමාන්න මහත්මියට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද නියෝග කළේ ය.

මේ අතර, රේගුවේ නිෂ්කාශනය නොවූ මුල් ලියාපදිංචියක් නොමැති ටොයෝටා වර්ගයේ මෝටර් රථයකට, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ආදායම් බලපත්‍රයක් ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (03) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව, අල්ලස් කොමිසමේ නිලධාරී අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

ඔවුන් පැවසුවේ, සැකකරුවන් ජාලගතව එම නීතිවිරෝධී ක්‍රියාව සිදු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු තුන්දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Continue Reading

පුවත්

කඳාන වෙඩි තැබීම කොණ්ඩ රංජිගේ වැඩක්!

Published

on

By

කඳාන පොලීසිය ඉදිරිපිටදී ඊයේ (03) හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස එවක කටයුතු කළ සමීර මනහරට සිදු කළ වෙඩි ප්‍රහාරය ඩුබායි හී සැඟව සිටින කඳානේ කොණ්ඩ රංජි නමැති අපරාධකරු විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව පොලිසිය කියයි.

කඳානේ කොණ්ඩ රංජි නමැති අපරාධකරුගේ සමීපතමයෙකු වන චූටි මල්ලි නමැත්තා හා සමීර අතර පවතින ගැටුමක් මේ වෙඩි තැබීමට හේතුවී ඇති බවට පොලිසිය සැකකරයි.

ඊයේ උදෑසන 10ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් සමීරගේ මෝටර් රථය ඉලක්ක කර ටී-56 ගිනිඅවියකින් මේ වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ අතරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණි.

සමීර මනහරගේ පිටකොන්ද ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවූවද ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරාංචි මාර්ග සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා උපාලි අමුණුවිල නැමැත්තෙක් වන අතර ඔහු සමීර මනහරගේ මස්සිනා බවත් වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් නැවත සිය නිවසට යමින් සිටින අතරතුර නිවසට මීටර් 500ක් පමණ දුරකදී වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.

වෙඩි තැබීම වූ අවස්ථාවේ පොදු වෙළෙඳපොලේ කීර වෙළෙඳාමේ යෙදෙමින් සිටි 62 හැවිරිදි කාන්තාවකට ද වෙඩි පහරක් වැදී ඇති අතර ඇයද ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහට ඇතුළත් කොට ඇත.

එසේම වෙඩි ප්‍රහාරයට ලක්වූවන් ගමන් ගත් මෝටර් රථය ද වෙඩි ප්‍රහාරය සමගින්ම පිටුපසට ධාවනය වීමේදී විදුලි කණුවක වැදී අනතුරට ලක්ව ඇති අතර ඒ අසළ සිටි පුද්ගලයකු ද රථයේ ගැටී තුවාල ලබා තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ මෝටර් රථය පියෝ මාවතේ සිට කඳාන දෙසට පැමිණ ඇති අතර මෝටර් රියට ටී 56 වෙඩි උණ්ඩ 26 වැදී ඇතැයි පොලිස් විමර්ශන මගින් හෙළිවී ඇත.

යතුරුපැදියේ පැමිණි දෙදෙනාගෙන් පිටුපස සිටි වෙඩික්කරු විසින් අදාළ වෙඩි තැබීම කර තිබෙන බවත් පසුව ඔවුන් පැමිණි යතුරුපැදියෙන්ම පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.

කෙසේවෙතත් මෙම වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැත.

එම යතුරුපැදියේ අංකය ඔස්සේ කරන ලද විමර්ශන මගින් එය ව්‍යාජ අංක තහඩුවක් බවත් එම අංකය හිමි යතුරුපැදියේ සැබෑ හිමිකරු මැදවච්චිය ප්‍රදේශයේ පුද්ගලයකු බවත් පොලිසිය පැවැසීය.  

කොණ්ඩ රංජිගේ මත්ද්‍රව්‍ය හා පාතාල ජාලයට සම්බන්ධ පරවි සුදා නමැති අපරාධකරු විසින් ප්‍රහාරය සඳහා යොදා ගත් ටී-56 වර්ගයේ ගිනිඅවිය ලබාදී ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පැවැසේ.

මියගිය උපාලි කුලවර්ධන නමැත්තා ද හිටපු දේශපාලඥයන් බොහෝ දෙනකු හා එක්ව පස් ජාවාරම් කර තිබෙන බවද ඊට අමතරව කොණ්ඩ රංජි නමැත්තා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර තිබෙන බවද අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

ඔහු 2010 වසරේදී මිනීමැරුම් සිද්ධියකට අදාළව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව ඉහළ අධිකරණයකින් නිදහස් වූවකු බවද පොලිසිය පවසයි.

වෙඩිතැබීම සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් රැසක් විමර්ශන සිදුකරයි.

මේ අතර අදාළ වෙඩිතැබීමත් සමග පොලිසිය බස්නාහිර උතුර කොට්ඨාසය තුළ ක්ෂණික පොලිස් මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීමක් සිදුකළේය.

එහිදී දුංගල්පිටිය පොලිසියේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් හඹාගොස් දුංගල්පිටිය ලෙල්ලම, මෝරවල ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණි.

යතුරුපැදියේ පසුපැදිකරු අත්අඩංගුවට පත්වෙද්දී, පළාගිය පැදිකරුට පොලිසිය වෙඩිතැබීමක් සිදුකර ඇති අතර,වෙඩිවැදීමෙන් ඔහුගේ පාදයක දණහිසින් පහළට තුවාල සිදුවී ඇත.

ඒ අනුව ඔහුවද අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂා කිරීමේදී ඔවුන් සතු බෑගයක තිබී සෙල්ලම් පිස්තෝලයක් හා මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් බව පොලිසිය පවසයි.

ඔවුන් කඳානේ වෙඩි තැබීමට සම්බන්ධද යන්න පිළිබඳ

මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධික්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

මේ වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 63ක් වාර්තාවී ඇති අතර ඉන් පුද්ගලයන් 36 දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම වෙඩි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවෙද වාර්තා වෙයි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් රටින් ගේන්න තීන්දු කරලා

Published

on

By

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා කියයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (03) පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අනවශ්‍ය ලෙස මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙසේ බඩඉරිඟු ගෙන්වන බවද ඔහු පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සත්ත්ව ආහාරවලින් ඇමැතිවරුන් පවා හම්බකරගෙන කෑ යුගයක් තිබුණු බවත් දැන් එය නිමාකර තිබෙන බැවින් ජාවාරම්කාරයන්ට අවශ්‍ය ලෙස වෙළෙඳපොළ හැසිරවීමට ඉඩ නොදෙන බවත්ය.

සත්ත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන මහා පරිමාණ කර්මාන්තවලට වැඩි මිලට බඩඉරිඟු විකිණීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතු බඩඉරිඟු අලෙවි නොකර ගබඩා කර තබා ගැනීමෙන් මෙලෙස මිල ඉහළ යාමක් සිදුවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

‘‘ගොවීන්ට සාධාරණ මිලක් ගෙවලා ගත්ත බඩඉරිඟු මේ අය සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ට ලබා නොදී මිල ඉහළ යනතෙක් ළඟ තියා ගත්තා. ඒ අය බලාපොරොත්තු වුණා 120ට, 130ට ගොවීන්ගෙන් ගත්ත බඩඉරිඟු 190ට, 200ට ආහාර නිෂ්පාදනය කරන අයට විකුණන්න. ඒ ගාණට බඩඉරිඟු ආහාර නිෂ්පාදකයන් විසින් ගත්තොත් බිත්තරයක් දෙන්න වෙන්නේ රුපියල් 200ක් වගේ මිලකට. මස් කිලෝවක මිලත් අති විශාල ලෙස මිල ඉහළ යනවා. මේ නිසා තමයි අපි තීරණය කරන්නේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පිටරටින් ගේන්න.

සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන අයත් දැන් මේ ව්‍යාපාරිකයන්ගෙන් බඩඉරිඟු මිලට ගන්න කැමැති නැහැ. ඇත්තටම දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ තමන් මිලට ගත් බඩඉරිඟු වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් නොවිකුණා හිටපු පිරිසටයි. රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුවේදී මේ ගැන සාකච්ඡා කළා. බඩඉරිඟු මිල විශාල ලෙස අඩු නොවන ආකාරයට ආනයනික බඩඉරිඟු සඳහා බද්දක් පනවන්න කියලා යෝජනාවක් ආවා. මේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යපාරිකයන් කියන තරම් ශුද්ධවන්තයන් නොවෙයි. උපරිම ලාභ කුට්ටියක් තමන්ට ලබා ගන්න ඒ අය නොයෙක් දේවල් කරනවා. අපි ඒකට දොස් කියන්නේ නැහැ. ව්‍යාපාර කරන්නේ ලාභ ලබන්න තමයි. නමුත්, බඩඉරිඟු මිල අනවශ්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා අපට වගකීමක් තිබෙනවා.’’

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved