Connect with us

පුවත්

ලංගම දුර ගමන් බස් වල ආසන වෙන් කිරීම අන්තර්ජාලයෙන්

Published

on

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීමේ සමාරම්භක වැඩසටහන  මහාමාර්ග රාජ්‍ය  අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්  මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.

ඊට අදාළ sltb.eseat.lk වෙබ් අඩවිය විවෘත කිරීම 1315 mobile app එක හදුන්වා දීම හා ප්‍රවේශ පත්‍ර  කවුළුව විවෘත කිරීම   රාජ්‍ය ඇමැතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

දිවයින පුරා පිහිටි ස්ථාන හතළිහක් හරහා ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථ වල ආසන වෙන්කරවා ගැනීමට  පහසුකම් සලසා ඇති අතර ඒ සඳහා 1315  ක්ෂණික දුරකථන අංකය  365 දවසේ පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන්ම   සක්‍රීයව පවතී.

ඊට අමතරව sltb.eseat.lk වෙබ් අඩවියෙන් හා 1315 ජංගම දුරකථන app එක හරහාද මෙම පහසුකම සලසා ඇත .

ඒ අනුව කලින් ආසන වෙන් කරවා ගැනීම , තමන්ට කැමති ස්ථානයක ආසනයක් හෝ ආසන කිහිපයක්  වෙන් කරවා ගැනීම , තමන්ට ළඟින්ම පිහිටි බස් නැවතුම්පළෙන් බසයට ගොඩ වීමේ පහසුකම , ආසනයක් වෙන්කර ගත් පසු එය වෙනත් දිනයකට මාරු කර ගැනීම , බස් රථය පිටත් වූ විගස කෙටි පණිවිඩයක් හරහා මගියා  දැනුවත් කිරීම , 365 දවසේ පැය 24 පුරා ක්ෂණික දුරකථන සේවා මධ්‍යස්ථානය අමතා තොරතුරු ලබා ගැනීම , ආසන වෙන්කර ගත් බස් රථය පිටත් වීමට පෙර කොන්දොස්තර මහතාට දුරකථනයෙන් අමතා තොරතුරු  ලබාගැනීම ඇතුළු  පහසුකම් රැසක් මගියාට මේ තුළින් හිමිවේ.

මෙම පහසුකම් කල්මුණේ සමන්තුඩේ කාත්තන්කුඩි කින්නියා මන්නාරම  මුලතිව් කඩුවෙල බණ්ඩාරවෙල තංගල්ල මාකුඹුර මීගමුව පොතුවිල් කලවංචිකුඩි එරාවූර් යාපනය කිලිනොච්චිය මහනුවර වැල්ලවාය බිබිලේ කතරගම පොලොන්නරුව මහියංගනය අක්කරේපත්තුව අම්පාර වාලච්චේන හැටන් කරේ නගර්  මහරගම දෙහිඅත්තකණ්ඩිය  ගාල්ල අම්බලන්ගොඩ අනුරාධපුර මඩකලපුව  ත්‍රි – මලේ වව්නියාව පේදුරුතුඩුව මොනරාගල බදුල්ල මාතර නුවරඑළිය සහ කඩවත  යන ප්‍රධාන  බස් නැවතුම් පොළවල් හරහා ආසන වෙන් කිරීමෙන් ලබාගත හැකිය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය HANDS GLOBAL HOLDINGS පුද්ගලික සමාගම හා එක්ව මෙම  වැඩසටහන ක්‍රියාත්මකය .

මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  සභාපති එම්.ඩී.එල්.කේ.ඩී.අල්විස් , HANDS GLOBAL HOLDINGS පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ලියනගේ , බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන)  පී.රත්නායක ,  මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නාලක දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

(ඡායා / මූලාශ්‍රය : ලංකාදීප)

පුවත්

හිරුණිකාගේ  නඩුව කල්යයි

Published

on

By

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවන ලදී.

එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය.

ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට දැනුම් දුන්නාය.

2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන්ට විරුද්ධව මෙම පැමිණිල්ල පොලිසිය විසින් ඉදිරිපත් කර ඇත.

Continue Reading

පුවත්

දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දින නියම වේ.

Published

on

By

රන් ආලේපිත ගිනිඅවියක් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීන්දු කරන බවය.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කර සිටියේ, ඉදිරිපත් කර ඇති වාර්තා පිරික්සීමේදී මෙම විමර්ශන ගොනු මේ වන විට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපතිවරයාගේ අධීක්ෂණයට භාජනය වී තිබෙන බව පෙනී යන බවය.

මෙම සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහු විසින් පොලීසියට ලබාදුන් ප්‍රකාශය තුළින් ඉදිරිපත් වන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව මීළඟ දින කරුණු දක්වන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවීමටද නියම වුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට අධිචෝදනා භාරදෙයි

Published

on

By

2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාර දෙනු ලැබීය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය විනිසුරුවරයා විමසා සිටියේය.

එම අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සඳහන් කළේ, විත්තිකරුවන් සුදුසු ඇපකරුවන් මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවය.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියම කළේය.

එම අවස්ථාවේදී  විත්තිකාර ජයන්ත එදිරිසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරදක්වමින් මෙම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.

එහිදී විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරුවන්ට චෝදනා කියවා දීමෙන් අනතුරුව එම මූලික විරෝධතා මතු කරන ලෙසය.

ඊන අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවීමට ද නියම වුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් කිහිපයක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා සංඛ්‍යාව  05කි.

සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved