රුපියල් ලක්ෂ 470ක බදු මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊ.ඒ.පී. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනකුට ලබන අප්‍රේල් 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ (18 වැනිදා) නියෝග කළේය.
අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ යන විත්තිකරුවන් තිදෙනාට එලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2016, 2017 සහ 2018 වර්ෂවලට අදාළ කාර්තු තුනක් සඳහා නියමිත පරිදි බදු මුදල් නොගෙවා පැහැර හරින ලදැයි ඊ.ඒ.පී. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණි.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී එම සමාගමේ අධ්‍යක්ෂවරයකු වන ජීවක එදිරිසිංහ අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම විත්තිකරු රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙම නඩුව ලබන අප්‍රේල් 22 වැනිදා යළි කැඳවීමට නියමිතය.