ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්කර ඇති බවට ශ්‍රීලංකන් ගුවන් සමාගම, ජනාධිපති කාර්යාලය, පොලිසිය මෙන්ම බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළටද දුරකථන ඇමැතුම් ලබාදුන් බව කියන අයකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට බාරදී තිබේ.
පෙරේදා (11) මෙම සිදුවීම සිදුව ඇත.
මේ පණිවුඩ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කඩිනම් අවධානය යොමු කර ඒ අනුව දුරකථන පණිවුඩ ලබාදුන් පුද්ගලයාගේ දුරකථන අංකයද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
එම අංකය යොමුකර දුරකථන විශ්ලේෂණ වාර්තා හා සන්නිවේදන කුලුනු වාර්තා ඔස්සේ කළ සොයා බැලීමේදී අදාළ දුරකථන ඇමතුම දුන් පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේ සිට මෙම ඇමතුම් ලබාදී ඇති බට තහවුරුකරගෙන පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලවත්ත පොලිසිය විසින් වැල්ලවත්තේ පටුමගක පිහිටි හෝටලයක් වටලා සැකකරු සොයාගෙන තිබිණි.
සැකකරු පොලිසියට ප්‍රතිචාර නොදක්වා කාමරයේ දොරගුළු දමාගෙන සිටියදී පොලිසියට දොරකඩා කාමරයට ඇතුළු වීමටද සිදුවී ඇති බව පැවසේ.
එම සැකකරු සන්තකයේ තිබී ටැබ් යන්ත්‍රයක්, අයි ෆෝන් එකක්, රවුටරයක්, හෑන්ඩ් ෆ්‍රී යුගලක් හා මුදල් හුවමාරු කළ බැංකු රිසිට් පත් රැසක් ද සොයාගෙන ඇත.
ටැබ් යන්ත්‍රයේ එල්ටීටීඊ සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප, ධජ, රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප, ගුවන් තොටුපළ ඡායාරූප සහ ගුවන් යානාවල ඡායාරූපද තිබූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
සැකකරු විසින් පෙරේදා (11) දිනය පුරා ගුවන් යානාවක් පැහැරගැනීම සම්බන්ධයෙන් වරින් වර දුරකථන ඇමතුම් ලබාදී ඇති බවද මෙහිදී කරන ලද ප්‍රශ්න කිරීම් මගින් අනාවරණය වී තිබිණි.
සැකකරු අත්අඩංගුවට පත් හෝටලයේ කාමර අංක 501 මාස තුනක කාලයක සිට වෙන්කරගෙන ඇතැයිද දිනකට රුපියල් තුන්දහස බැගින් කාමර කුලිය ගෙවා ඇතැයි ද ඊට පෙර සැකකරු කොළඹ 02 ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන සිට ඇතැයිද ඒ සඳහා දිනකට රුපියල් 5000 බැගින් ගෙවා ඇතැයිද හෙළිකරගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින මෙම සැකකරු විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවත් විදේශ රටවලින් ඩොලර් ලැබෙන වෙනත් කටයුතුවලද නියැළී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මොහු මෙම ක්‍රියාවද අයිස් මත්ද්‍රව්‍ය පානය කර සමාජ කැලඹීමක් ඇති කිරීමේ අරමුණින් කර ඇති බවට සැකකරන බවද පොලිසිය කියා සිටියි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන් ගුවන්තොටුපළ පොලිසිය වෙත ඊයේ භාරදී ඇත.
සැකකරු සන්තකයේ තිබූ ටැබ් යන්ත්‍ර හා සැකකරුගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකරන බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එසේම සැකකරු ගේ ප්‍රකාශ ගැටලු සහගත බවද වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බවද පොලිසිය කියයි.