Connect with us

පුවත්

ලන්සා අනුරගෙන් ගේම ඉල්ලයි; උදයගේ වාර්තාව පිළිගන්නවද? නැද්ද අහයි? (වීඩියෝ)

Published

on

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට උදය සෙනවිරත්න කමිටු වාර්තාව මගින් කළ නිර්දේශ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළි ගන්නේද යන්න රාජ්‍ය සේවකයින්ට පැවසිය යුතු බව නිමල් ලන්සා මහතා කියා සිටී.

හෙතෙම මෙසේ පැවසුවේ අද (29) මීගමුව, වැල්ලවීදියේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි.

රනිල් වික්‍රමසිංහ 2025 වර්ෂයේදී රාජ්‍ය සේවකයින්ට වැඩි කිරීමට තීරණය කළ වැටුප් හා දීමනා වැඩි කරන ලෙසත්, එය මඟ නොහරින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා එහිදී ඉල්ලා සිටියේ ය.

එහි දී වැඩදුරටත් අදහස් දැක්වූ නිමල් ලන්සා…

බලයගන්න කලින් කිව්වා ඒවා..

‘‘ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පත් වෙන්න කලින් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි, වැටුප් විෂමතා ඉවත් කරන්න, ජීවන වියදමට සරිලන පරිදි  වැටුප් වැඩි කරන්න ඕනේ කියලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති විශාල ලෙස උද්ඝෝෂණය කරා.  ඒ විදියට උද්ඝෝෂණය කරේ රට වැටිලා තිබුණු වෙලාවෙ. රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ස්ථාවර කරලා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් දහදාකින් වැඩි කරා. ඒ පඩි වැඩිවීත් මදි, අවමය විසිපන්දාහක පඩි වැඩිවීමක් අවශ්‍යයි කියලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති දිගින් දිගටම කියා සිටියා. වැටුණු ආර්ථිකය ගොඩනගමින් සිටින වෙලාවක රාජ්‍ය සේවකයින් යොදාගෙන රටපුරා උද්ඝෝෂණ, වැඩවර්ජන සිදු කරලා රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරන්න ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති කටයුතු කරා.

රාජ්‍ය සේවකයෝ මාලිමාවට ඡන්දෙ දුන්නේ ඇයි?

ලැබෙන පඩියෙන් රාජ්‍ය සේවකයින්ට ජීවත් වෙන්න බැහැ කියලා කරුණු කිව්වට පස්සේ රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් ජාතික ජන බලවේගයට ජන්දය දුන්නා. රාජ්‍ය සේවකයින්ගෙන් පැමිණි උද්ඝෝෂණ හා වැඩවර්ජන නිසා ඔවුන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට උදය සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුක් පත් කරා. ඒ කමිටුව පත්කරේ ඒ සඳහා විශේෂ දැනුමක් සහ ඒ පිළිබඳව කටයුතු කරන ආයතනවල සහයෝගය ඇතිව. ඒ කමිටුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීම ගැන සොයා බැලුවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රධාන වෘත්තිය සමිති අනු එකක් ඒ කමිටුවට කරුණු වාර්තා කරා. ඒ අය කීවේ අපිට ලැබෙන පඩිය මදි. ජීවත් වෙන්න විදියක් නැහැ. පඩි වැඩි කරන්න කියලා. උදය සෙනවිරත්න කමිටුව තීරණය කරා අවමය විසිපන් දහසකින් පඩි වැඩි කරන්න. එහෙම නැතිනම් අවමය සියයට විසිහතරකින් පඩි වැඩි කරන්න. මූලික වැටුප අවමය පනස්පන් දහස දක්වා වැඩි කරන්න ඕනේ කියලා. මේ යෝජනා දෙකම ක්‍රියාත්මක කරන්න යෝජනා වූණේ ජනතා විමුක්ති පෙරමුණ සහ වෘත්තිය සමිති මීට වඩා පඩි වැඩිවීමක් ඉල්ලලා තිබුණු අවස්ථාවක.

රනිල් කියපු දේවල් කරපු නායකයෙක්

රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කරලා තිබුන නිසා උදය සෙනවිරත්න කමිටුව යෝජනා කළ වැටුප් වැඩි වීම ක්‍රියාත්මක කිරීමට හැකිව තිබුණා. ඒ අනුව අවම වැටුප පනස් පන්දහසක් දක්වා වැඩි කිරීමටත්, දීමනාව විසිපන් දහස දක්වා වැඩි කිරීමටත් කැබිනට් මණ්ඩලයට යෝජනා කරා.  රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වුනාට පස්සේ කියපු දේවල් සියල්ල කරපු නායකයෙක්. රට ගොඩගන්න අමාරු මට්ටමක තියෙන්නේ කියලා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරාම අනුර කුමාර මහතා කිව්වේ ‘අපට ඕනේ විසඳුම් මිසක් මේ අමාරු තත්ත්වය කියන්න එපා’ කියල. රට භාර ගත්තනම් කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහතා එම අභියෝගය භාර අරන්  සංචිත වැඩි කරලා, ආර්ථිකය වර්ධනය කරලා, ආදායම් වැඩි කරලා රට විශාල ප්‍රගතියකට අරන් ආවා. එහි ප්‍රතිඑලයක් විදියට තමා රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම කැබිනට් අනුමැතියට දාන්නේ. මුදල් අමාත්‍යාංශයේ සහ අදාළ ආයතනවල නිර්දේශ සහිතව දෙදහස් විසිපහේ වැටුප් හා දීමනා වැඩි කිරීමට මුදල් වෙන් කිරීමට කටයුතු කරා. දෙදහස් විසිපහේ වැටුප් හා දීමනා වැඩි කිරීමට දෙදහස් විසිහතරෙ නොවැම්බර් මාසයේ එන විසර්ජන පනතට ඇතුළත් කරන්න. දෙදහස් විසිහතරෙ විසර්ජන පනතින් තමා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩිවීමට නියමිතව තිබුනේ.

2024 අය වැය කෝ…

ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ මීටත් වඩා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් මාස හයෙන් හයට කරනවා කියලා. මාලිමාවට විශාල විශ්වාසයක් තියලා රාජ්‍ය සේවකයින් ජන්දය ලබා දුන්නා. අපි ඒ අයගෙන් අහනවා අපි වැඩි කරපු අවම ගාණවත් රාජ්‍ය සේවකයින්ට ලබා දෙන වද කියලා. ජනතා විමුක්ති පෙරමුණ මෙවර අයවැය ලේඛණය ඉදිරිපත් කරන්නේ නැහැ. ඉදිරිපත් කරොත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම පෙන්නන්න වෙනවා. ඒ නිසා මේ අය මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ නැහැ. අයවැය ඉදිරිපත් කරන්නේ මාර්තු මාසය තුළ. අයවැය ලේඛණය ඉදිරිපත් නොකර කල් දාගත්තම පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණය දිනා ගන්නන ළුලුවන් වෙයි කියලා. අයවැය ලේඛණය ඉදිරිපත් කරාම ජනතාවට තේරෙනවා රාජ්‍ය සේවක වැටුප් මාස හයෙන් හයට වැඩි වෙන්නේ නැහැ කියලා.

හරිනිගේ දැනුම ගැන අපිට කණගාටුයි

උදය සෙනවිරත්න වාර්තාව කියන්නේ සියලු දෙනා පිළිගන්නා වාර්තාවක්. වෘත්තිය සමිත් අනූ එකක් සහ වෙනත් වෘත්තිය සමිති තුන්සිය හැත්තෑ එකක් සම්බන්ධ වෙලා, පුළුල්ව සාකච්ජා කරල ගත්ත තීන්දුවක්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් අහන්න කැමතියි උදය සෙනවිරත්න වාර්තාව පිළිගන්නවද ? නැද්ද ? කියලා. වැඩි කරලා තියෙන වැටුප හා දීමනාව ගෙවන්න ඕනේ කියලා පිළිගන්නව ද නැද්ද? රාජ්‍ය සේවය මිලියන එකයි දශම තුනක යම් ප්‍රමාණයකින් අඩු කරන්න ඕනේ කියලා පිළිගන්නව ද කියලා අහන්න කැමතියි. පිළි නොගන්නේනම් පිළිගන්න කමිටු වාර්තාව මොකක්ද? ඒ අය රාජ්‍ය සේවකයින්ට කොපමණ වැටුප් හා දීමනා වැඩි කරනවද? මේ අයගේ වෘත්තිය සමිති තමා කිව්වේ වැටුප් වැඩි කරන්න කියලා. අපි දෙන්න ගිය එකත් නතර කරා. හරිනි අග්‍රාමාත්‍යතුමිය කියනවා මුදල් වෙන් කරලා තිබුනේ නැහැ කියලා. එයාට තියෙන දැනුම ගැන අපිට කණගාටුයි. දෙදහස් විසිපහේ වැටුප් වැඩි කිරිමට මුදල් වෙන් කරන්නේ දෙදහස් විසි හතරෙ වර්ෂ අවසානයේ විසර්ජන පනතින්. විසර්ජන පනත ඉදිරිපත් කරලා අනුමත වුනාම තමා දෙදහස් විසි පහේ මුදල් වෙන් කරන්නේ. මේ ගැන අවබෝධයක් නැති, තමන්ව බලයට ගෙන ඒමට කටයුතු කළ රාජ්‍ය සේවකයින් පහළට දාලා කතා කරන එක ගැන කණගාටුයි.

රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න කිව්වේ ජවිපෙ වෘත්තිය සමිති

ජනපති හා අගමැතිනියගෙන් අහන්න කැමතියි උදය සෙනවිරත්න කමිටුවෙන් යෝජනා කළ අවම වැටුප පනස් පන් දහස දක්වා වැඩි කිරීම පිළිගන්නවද නැද්ද? අවම දීමනාව රුපියල් විසිපන් දහස දක්වා වැඩි කිරීම පිළිගන්නවද නැද්ද ? රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිගන්නවද නැද්ද? ජනතා විමුක්ති පෙරමුණ සහ ඒ අයගේ වෘත්තිය සමිති තමා රනිල් වික්‍රමසිංහ මහතාට බල කර සිටියේ වැටුප් වැඩි කරන්න කියලා. උදය සෙනවිරත්න කමිටුවේ අදහස් විමසලා ඒ නිර්දේශ මත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ. ඒ අනුව තමයි මුදල් වෙන් කරේ. දැන් ජනතා විමුක්ති පෙරමුණට පැනලා යන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහතා වැඩි කළ අවම වැටුපවත් රාජ්‍ය සේවකයින්ට ලබා දෙන්න.’’

පුවත්

හඳුන්නෙත්ති චාමරගෙන් සපෝට් එකක් ඉල්ලයි (වීඩියෝ)

Published

on

By

අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේදී හඳුන්නෙත්ති අමාත්‍යවරයා සීනි සහ එතනෝල් පිලිබඳ ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීම සිදු කරන ලදී..

එහිදී ඔහු කියා සිටියේ සීනි මෙට්‍රික් ටොන් විසිතුන්දහස් අනුහයක් සහ එතනෝල් ලීටර් විසි තුන්ලක්ෂ පනස්දහසක් රජය සතු වන බවය.

එසේම සීනි නිෂ්පාදනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වශයෙන් ඔහු යෝජනා කරනු ලබන්නේ ඒකාබද්ධ වල පැළෑටි කළමනාකරණය, පලිබෝධ හා රෝග පාලනය , ඒකාබද්ධ පාංශුපෝෂක කළමනාකරණය , වඩාත් සුදුසු ප්‍රභේද තෝරා ගැනීම ආදිය යි.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබුවේ එතනෝල් සඳහා රජයේ අවම මිල වන්නේ රුපියල් 800 බවයි. මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරින් මත්පැන් නිෂ්පාදන සමාගම තුලින් මුදල් ලබා ගන්නා බවද, ඔවුන් පිලිබඳ හෙලිදරව් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය.

එසේම ඔහු සඳහන් කලේ තමන් සතුව ඇත්තේ ගොවියන්ට ගෙවන ප්‍රමාණ අඩු කිරීම හෝ එතනෝල් මිල වැඩි කිරීමේ තීරණය බවය.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ එතනෝල් රුපියල 1200ට ලබා දුන් බවයි.  

වීඩියෝ  – Voice Tube

Continue Reading

පුවත්

සුමාත්‍රා දූපතට ගොඩබැස්වූ යානයේ මගීන් ගමනාන්තයට යොමු කිරීමට තවත් ගුවන් යානයක් (UPDATE)

Published

on

By

කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් නැවත ගමනාන්ත සඳහා යොමුකිරීමට තවත් ගුවන් යානයක් කටුනායකින් පිටත්කර යවා තිබේ.

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් හි ආයතනිත සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවේ, UL 302 ගුවන් යානය අද (06) පස්වරු 1.45ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගිය බවය.

මෙම යානය සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබස්වා එහි සිටින මගීන් සහ කාර්යමණ්ඩලය රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

කටුනායක සිට සිංගප්පූරුව දක්වා මගීන් 93 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ගුවන් යානයක් හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ අලුයම සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබුණි.


(පෙර පුවත 2025 ජූනි 06 ප.ව.12.01 )

ශ්‍රීලංකන් ගුවන් යානයක හදිසියේ කාර්මික දෝෂයකට ලක්වේ

කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි.  

එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවෙන බවට දැනුම්දීමත් සමග ගුවන් මගීන් එතෙක් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රීලංකන් බලධාරීන් තීරණය කර තිබේ.

කෙසේවෙතත් ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබානොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබූ අතර පසුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳාගැනීමට කටයුතු කර තිබූ බවද වාර්තා විය.  

මේ අතර කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන්යානය පරීක්ෂා කිරීම සඳහා අද (06) අලුයම ජකර්තා බලා පිටත්ව ගිය ගුවන්යානයක මෙරට තාක්ෂණික කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණි.

දෝෂයට ලක්වූ ගුවන්යානයේ මගීන් යළි ගෙන්වාගැනීම සඳහා අද දහවල් 1:45ට තවත් ගුවන්යානයක් පිටත්ව යෑමට නියමිතය.

Continue Reading

පුවත්

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 07ක්

Published

on

By

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන මේ වන විට පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ෂව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම් අද ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, මෙම පෙත්සම් පිළිබඳ විභාගය ලබන11 වන දා ආරම්භ කරන බවය.

එදින මෙම පෙත්සම් ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

මෙම පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ, යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර ඇති බවය.

තවද සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන්ද පැහැදිලි විධානයක් මෙම පනත් කෙටුම්පතේ සඳහන් වී නොමැති බවත් පෙත්සම්වලින් චෝදනා කර තිබේ.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved