පුවත්

ලබන වසරේ ලංවිමට බෝනස් නෑ!

Published

on

2024 වසරේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා සහ ලබානොගත් නිවාඩු සඳහා වන දීමනා නොගෙවන බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

පසුගිය 14දා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

එහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ගැනද ඇමැතිවරයා වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබේ.

කෙසේවෙතත් වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ මෙම සාකච්ඡාව අසාර්ථක වූ බවය.

විදුලි බල මණ්ඩලය සතුව මුදල් නොමැති බැවින් බෝනස් ලබාදීමට තබා දැන් සිදුව ඇත්තේ මණ්ඩලයේ සේවකයන්ගේ වැටුපෙන් මණ්ඩලයට ශත පනහක් හෝ අය කරගැනීමට බවද මෙහිදී ඇමැතිවරයා කියා තිබේ.

එවිට වෘත්තීය සමිති නියෝජිතයන් පවසා ඇත්තේ විදුලි බල මණ්ඩලයේ මුදල් නොමැති වී ඇත්තේ සේවකයන්ගේ වරදකින් නිසා නොව අදාළ වගකිව යුතු බලධාරීන්ගේ ක්‍රියාවන් නිසා බවය.

මෙහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ එළැඹෙන 24දා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබාගන්නා බවය.

මේ අතර විදුලි බල අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඇමැති කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය, නව විදුලිබල පනතේ ආකෘතිය, ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අදාළ නියමයන් ක්‍රියාත්මක කරන කාල රාමුව, මානව සම්පත් විගණනය සහ සේවකයන් අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය, විශ්‍රාම වැටුප් සහ සේවක වරප්‍රසාද පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවය.

එමෙන්ම එම නිවේදනය මඟින් වැඩිදුරටත් දැක්වෙන්නේ සංවර්ධන නියෝජිත ආයතන මෙම ක්‍රියාවලියට ලබා දී ඇති සහය, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශය පිහිටුවීම සහ යෝජිත නව සමාගමේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද ඇමැතිවරයා මෙහිදී ඔවුන් දැනුවත් කර තිබෙන බවය.

(මූලාශ්‍රය  : අරුණ)

Trending

Exit mobile version