දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන සහතිකයක් පදනම් කර ගනිමින් ලබන වර්ෂය සඳහා මත්පැන් බලපත්‍ර අලුත් නොකිරීමෙන් මත්පැන් හල් තුන්දහසක් පමණ විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් මතුවන බව බලයලත් මත්පැන්ලාභී සංගමය ආණ්ඩුවට පෙන්වා දෙයි.
එම සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ පවතින නීතිමය තත්ත්වය යටතේ හා අධිකරණය ලබා දී ඇති නියෝගවලට අනුව බලපත්‍ර අලුත් කරන ලෙසයි.
එසේ බලපත්‍ර අලුත් නොකරන්නේනම් ඊට බලපෑම් කරන සියලු නිලධාරීන්ට එරෙහිව නඩු පවරන බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
සුරාබදු ආඥා පනතේ නීති රීතිවලට අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නිෂ්කාශන සහතිකයක් ලබා ගැනීමේ නියමයක් නොමැත.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම ඉහළ නැංවීමට මෙම තීරණය උචිත වුවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග බදු ගෙවන්නන් කරන අක්‍රමිකතා නිසා බදු ආදායම අහිමි වී ඇති බව පෙනී යන්නේ යැයි එම ලිපියේ සඳහන් වෙයි.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ රාජකාරී කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කරන බවත් ඊට බලපෑම් කරන බවත් එම සංගමය සිය ලිපියෙන් පෙන්වා දෙයි.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිසි ආකාරයෙන් නිෂ්කාශන සහතිකයක් ලබා දෙන්නේනම් බදු වංචා සිදු වී සිරබත් කෑමට සිදු නොවන බව සංගමයේ අදහසයි.
දත්ත පද්ධතිය හරහා බදු ගෙවීම් පිළිබඳ තොරතුරු ලබා දුනහොත් දැනට නිකුත් කරනු ලබන ව්‍යාජ නිෂ්කාශන සහතික භාවිත කරමින් බදු දැලෙන් රිංගා යන වංචනිකයන්ට හා ඒ මතින් යැපෙන නිලධාරීන්ටද සෝචනීය තත්ත්වයක් උදාවන බව එම සංගමය යොමු කළ ලිපියේ සඳහන් වෙයි.
මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට, මුදල් අමාත්‍යාංශයට, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටද යොමු කර ඇත.
දිවයින පුරා මත්පැන් අලෙවිසල් හාරදහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මකය.
මූලාශ්‍රය – අරුණ