පුවත්

ලාංකික යුවලක් චීනයෙන් පිටුවහල් කරයි

Published

on

කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක හිස් කන්ටේනරයක සැඟවී මැලේසියාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, වසරකට පසු චීනයෙන් පිටුවහල් කර තිබේ.

මෙලෙස චීනයෙන් පිටුවහල් කළ පුද්ගලයින් දෙදෙනා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔවුන් 26 සහ 39 හැවිරිදි දෙමළ ජාතිකයින්.

2023 ජනවාරි 30 වැනිදා කොළඹ වරායේ CICT ජැටියේ නැංගුරම් ලා තිබූ ‘MV Merks Unico ’ නෞකාවේ පටවා තිබූ හිස් කන්ටේනරයකට රහසේ ඇතුළු වූ ඔවුන් මැලේසියාව බලා පිටත්ව ගොස් තිබුණි.

නෞකාව මැලේසියාවට පැමිණීමෙන් පසු ඔවුන් දෙදෙනාට තම රටට ඇතුළුවීමට මැලේසියානු රජය විසින් අවසර නොදුණි.

මේ අනුව, නෞකාවේ බලධාරීන් ඔවුන්ව තවත් රටවල් ගණනාවකට රැගෙන යාමෙන් පසු අවසානයේ චීනයට ළඟා වූ අතර එහිදී චීන බලධාරීන් පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.

පිටුවහල් කරන ලද පුද්ගලයින් දෙදෙනා චීනයේ ෂැංහයි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල්-867 දරණ ගුවන් යානයෙන් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවනු ලැබීය.

ඔවුන් කටුනායකට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වෙළෙඳ හා ජාවාරම් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, කොළඹ කිරුළපන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ඒම සිදු වුණා.

Trending

Exit mobile version