පුවත්

ලාඕසයේ මිනිස් ජාවාරම ගැන පැමිණිලි 15ක්

Published

on

තායිලන්තයේ සමාගම්වල රැකියා දෙන බව කියමින් සංචාරක වීසා මත තරුණ තරුණියන් රැගෙන ගොස් ලාඕසයේ අතරමං කර එන මිනිස් ජාවාරම සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඊයේ (01) වනවිට පැමිණිලි පහළොවක් (15) ලැබී ඇත.

මෙම පැමිණිලි සියල්ල ලැබී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් භාරයට පත්කර ඇති රුවන් පතිරණ නමැති අම්බලන්තොට පදිංචි ඉංග්‍රීසි ගුරුවරයා හා ඔහුට ආධාර අනුබල දීම මත අත්අඩංගුවට ගැනීමට සොයන අනුර සේනාරත්න නමැති පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයාටය.

මෙම සියලු පැමිණිලි දකුණු පළාතේ තරුණ තරුණියන්ට සිදුවූ වංචාවන් සම්බන්ධව වන අතර කිහිප දෙනකු හැර අනෙක් පිරිස තවමත් ලාඕසයේ අතරමං වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලිවල සඳහන්ය.

මෙම ජාවාරම්කරුවන් මීට පෙර තායිලන්තයට රැගෙන ගිය තරුණියන් සිව්දෙනකු හා තරුණයකු ලාඕසයට රැගෙන ගොස් ශ්‍රමිකයන් සැපයීම වෙනුවෙන් එක් අයකුට ඇමරිකන් ඩොලර් 5000 බැගින් චීන සමාගමෙන් ලබාගෙන තිබිණි.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුගේ පුතා විසින් එම තරුණ තරුණියන් රැගෙන ගොස් චීන සමාගමට විකුණා මෙරටට පැමිණි බව විමර්ශනවලදී හෙළිවී ඇත. ඔහුවද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ඇරඹී ඇත.

Trending

Exit mobile version