කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයකදී අතවරයකට ලක්වූ බව කියන කාන්තාවක් එම බසයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මරදංකඩවල ප්‍රදේශයේ පදිංචි කොළඹ නගරයේ පුද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවය කළ 61 හැවිරිදි කාන්තාවකි.
පසුගිය 10 වැනිදා මෙම කාන්තාව අවිස්සාවේල්ල- කොටුව බස් රථයක ගමන් කරමින් සිටියෙදී බසයෙන් ඇදවැටී බරපතළ තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. ඇය පසුගියදා (18) වැනිදා මෙලෙස මියගොස් තිබිණි.
බස් රථයේ රියැදුරු කොන්දොස්තර ඇතුළු කිහිප දෙනෙකුගෙන් ලබාගත් ප්‍රකාශ අනුව ඇය බසයෙන් ඇදවැටී මියගිය බව අනාවරණය වී තිබිණි. ඇය බසයෙන් ඇදවැටී ඇත්තේ බීමතින් බසයට නැගි පුද්ගලයකු සිදුකළ ලිංගික අතවරයෙන් මිදීමට උත්සහා දැරූ අවස්ථාවේදී බවද හෙළිවී ඇත.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හෝමාගම පොලිසිය විසින් සිදුකරයි.
(අරුණ)