Connect with us

පුවත්

ලෝක කම්කරු දිනය අදයි

Published

on

139 වැනි ලෝක කම්කරු දිනය අද (01)ට යෙදී තිබේ.

කම්කරු දිනය සැමරීම ආරම්භ වුණේ 1886 වර්ෂයේ දීය.

එදා 1886 මැයි පළමු වැනිදා තම කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ඇමරිකාවේ චිකාගෝ නගරයේ කම්කරුවන්ට එල්ල කර අසාධාරණ ප්‍රහාරයේ ප්‍රතිපලයක් ලෙස බිහි වූ, ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් දිනය අදටත් ලොව සාමූහිකත්වයේ බලය විදහා දක්වන අග්‍ර ගණයේ සැමරුමක් ලෙස සැලැකේ.

ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ හතලිස් දහසක පමණ කම්කරුවන් පිරිසක් දිනකට පැය අටක වැඩ මුරයක් ඉල්ලමින් පෙළපාලි පැවැත් විය.

මැක්කොමික් කම්හලේ කම්කරුවන් සංවිධාන කළ මේ වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට හාම්පුතුන් දැරූ උත්සාහයේදී එය මර්දනය කිරීමට පැමිණි පිරිස් හා කම්කරුවන් අතර ගැටුම් ඇතිවිය.

එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවන් 130ක් තුවාල ලැබූ අතර, වැඩවර්ජනයට එක්වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්විය.

රට පුරා අද රැලි 47ක් !

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති අද (01 වැනිදා) දිවයින පුරා මැයි දින රැලි 47ක් පැවැත්වීමට දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන සැලසුම් කර තිබේ.

ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිතව පමණක් මෙවර මැයි දින රැලි සහ කම්කරු දින සැමරුම් උත්සව 19ක් පැවැත්වේ. 

ඉකුත් වසරේදී (2024) දිවයින පුරා මැයි දින රැලි 74ක් පැවතුණද මෙම වසරේදී ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් මැයි දින රැලි නොපැවැත්වීමට තීරණය කර තිබේ. 

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ද මෙවර කම්කරු දින සැමරුමක් සංවිධානය කර නොමැත.

මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය පළමු වරට ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය. 

මෙම රැලිය සඳහා දිවයිනේ සෑම ඡන්ද කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ලක්ෂ එක හමාරක පිරිසක් ගාලු මුවදොර පිටියට රැගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ජාතික ජන බලවේගයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම පක්ෂය විසින් ඉකුත් වසරේදී (2024) මැයි දින රැලිය පවත්වනු ලැබුවේ විහාරමහාදේවී උද්‍යානය අසල ඇති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී ය.

සමගි ජන බලවේගයේ සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මැයි දින රැලි පවත්වනු ලබන්නේ තලවකැලේ ලිඳුල නගර සභා ක්‍රීඩාංගණයේදීය. 

ඉකුත් වසරේදී සමගි ජන බලවේගයේ මැයිදින රැලිය පැවතියේ කොළඹ කොටුවේදීය. 

මීට අමතරව සමගි ජන බලවේගය විසින් අනුරාධපුර පොලිස් ස්ථානය අසල වටරවුමේ ඉදිකර තිබෙන හිටපු අගමැති ඩී.එස්. සේනානායක පිළිරුව අසලදී ද කම්කරු දින සැමරීමක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැලිය පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීය. ඉකුත් වසරේදී එම රැලිය පැවැතියේ කොල්ලුපිටියේදීය.

සර්ව ජනබලයේ කම්කරු දින සැමරුම් වැඩසටහන වරකාපොළ සතිපොළ පරිශ්‍රයේදී අද (01 වැනිදා) පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතය. 

‘ඉන්න තැනින් ඉස්සරහට’ මැයෙන් සර්වජන සැමරුම පවත්වනු ලබන්නේ සර්වජන වෘත්තිය සමිති කේන්ද්‍රය විසිනි.

ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැලිය බගවන්තලාව දණ්ඩායුධපානි කෝවිල් උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දින සැමරුම ආරම්භ වන්නේ අද (01 වැනිදා) පෙරවරු 7.30 ට අරලියගහ මන්දිරයේ පිටුපස දොරටුව අසල රොටුන්ටා වටරවුමේ පිහිටි ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙනි. 

‘බොරුව නවතනු පොරොන්දු ඉටු කරනු’ තේමාව යටතේ ලෝක කම්කරු දින සැමරුම් උත්සවය පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය එක්ව මැයි දින රැලිය කොම්පඤ්ඤවීදිය හයිඩ් පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ලංකා සම සමාජ පක්ෂයේ කම්කරු රැලිය කුරුඳුවත්තේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ සිට ගමන් ආරම්භ කර විහාර මහා දේවී එළිමහන් රංග පීඨය දක්වා ගමන් කිරීමට නියමිතය.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මැයි දින රැලිය පලෛයි පච්චලපලෙයි නගරයේ බස් නැවතුම්පොළ අසලදී පැවැත්වේ.

ජනසෙත පෙරමුණේ කම්කරු රැලිය කතරගම දෙටගමුව වැව අසල සිට කතරගම බස් නැවතුම්පොළ දක්වා ගමන් කිරීමට නියමිතය.

දෙවන පරපුර පක්ෂයේ මැයි දින රැලිය ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය ඔරුගොඩවත්ත රජයේ ගබඩා සංකීර්ණය අසල සිට කොස්ගස් හන්දිය දක්වා ගමන් කිරීමට නියමිත අතර, සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දින රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ලංකා කම්කරු පක්ෂයේ මැයි දින රැලිය කෙසෙල්වත්ත ගුණසිංහපුර ඊ.ඒ. ගුණසිංහ පිළිරුව අසලදී සංවිධානය කර ඇත.

ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ගුණානුස්මරණ කමිටුව විසින් පවත්වනු ලබන මැයි දින රැලිය කෙසෙල්වත්ත පොලිසිය අසල පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසලදීත්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ කම්කරු රැලිය වැලිකඩ පිහිටි එම වෘත්තීය සමිති මූලස්ථානයේදීත් පැවැත්වේ.

ලංකා වතු සේවක සංගමය විසින් සීතාවක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ මංසන්ධිය අසලදීත් කම්කරු රැලියක් පවත්වනු ලබයි.

ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ඒකාබද්ධ මැයි දින වැඩසටහන අතුරුගිරිය ජනෝදාන ශාලාවේදී අද (01 වැනිදා) පස්වරු 2.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම මණ්ඩලයේ සභාපති, මහජන එක්සත් පෙරමුණේ සභාපති හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.

කොණ්ඩා මෝස්තරකරුවන්ගේ සංගමයක් විසින් ද මෙවර මැයි දින රැලියක් කල්මුණේ ප්‍රදේශයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. All Ceylon Maruthuvar Community නමැති සංගමය විසින් කම්කරු දින සැමරුම සංවිධානය කර තිබේ.

පුවත්

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී අද ලංකාවට

Published

on

By

විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

පොලීසිය පැවසුවේ, බෙලරූස් රාජ්‍යයේ සිට අද (14) උදෑසන 09.00ට පමණ එම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන එන බවය.

‘ලොකු පැටී’ නැමැත්තා ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ද වෙයි.

මෙම සැකකරුට එරෙහිව අධිකරණවල විභාග වන නඩු පහත පරිදි වේ.

2016.05.21 වන දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
එමෙන්ම 2017.05.09 වන දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය හා බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
2017.06.15 වන දින හෙරොයින් ග්‍රෑම් 299 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
2021.10.08 වන දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මේ අතර තවද මෙම සැකකරු විසින් විදේශගතව සිටිමින් පහත අපරාධ මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත.

2022.08.24 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
2022.09.23 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.
2022.10.12 වන දින අහුංගල්ල පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම.
2024.01.18 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීම.
2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම.

Continue Reading

පුවත්

සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජය ගනියි!

Published

on

By

සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

ඒ 65%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

ඒ අනූව පාර්ලිමේන්තු ආසන 97න් 87ක් අගමැති ලොරන්ස් වොන්ග්ගේ නායකත්වයෙන් යුත් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

උද්ධමනය, වැටුප් විෂමතා වැනි ගැටලු හේතුවෙන් ජනතාව කනස්සල්ලට පත්ව ඇති පසුබිමකදී සිංගප්පූරු මැතිවරණය පැවැත්විය.

Continue Reading

පුවත්

ජනපති වියට්නාමයට ළඟාවෙයි (ඡායා)

Published

on

By

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇත.

ඒ වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයක් අනුවය.

නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ දූත පිරිස වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නූයෙන් මන් කුඕං, ජනවාර්ගික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නොං ති හා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.

වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ 1970 වසරේ දී ආරම්භ වූ වියට්නාම – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අනුව 2009 වසරෙන් පසුව වසර 16කට පසු ශ්‍රී ලංකා නායකයෙකු වියට්නාමයට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය යන බවය.

එමෙන්ම ජනාධිපතිවරයා 2024 සැප්තැම්බර් මාසයේ බලයට පත්වීමෙන් අනතුරු අග්නිදිග ආසියාවේ සිදු කරන පළමු සංචාරයද මෙය වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබේ.

වියට්නාම තානාපතිනිය එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙරට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය වඩාත් ත්‍රීව්‍ර හා පුළුල් ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ නව අදියරක ආරම්භය සනිටුහන් කරනු ඇති බවත් එය දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන මෙන්ම කලාපයේ සහ ලෝකයේ සාමය, සහයෝගීතාවය, සංවර්ධන සහ සමෘද්ධිය සඳහා දායක වන බවත්ය.  

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved