Connect with us

පුවත්

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අද යි

Published

on

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට(මැයි 03) යෙදි තිබේ. 

ලොව පුරා මාධ්‍ය ආයතන, සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳ සංඛේතවත්ව සිහිකිරීම මෙම දිනයේ අරමුණයි.

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළේ 1993 වසරේදී ය. 

ඒ 1986 දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කොලොම්බියානු මාධ්‍යවේදි ගිලෙමො කානෝ අනුස්මරණය කරමින් ය.

ජීවිත අවදානමද නොතකමින් එදිනෙදා ජිවිතයේ ප්‍ර‍වෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදින් ඉටු කරන්නේ පුළුල් සමාජ වගකීමකි.

මාධ්‍ය නිදහසේ මූලික මූල ධර්ම ආරක්ෂා  කිරීම, ලොව පුරා මාධ්‍ය නිදහස සඳහා පවතින වටපිටාව ඇගයීම මෙන්ම මාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරවලින් මාධ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුවලට සිහිපත් කිරීමද මෙම දිනයේදී සිදුවෙයි. 

RSF World Press Freedom Index 2025 (ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය) හි ශ්‍රී ලංකාව රටවල් 180 කින් 139 වැනි ස්ථානයට පත්ව තිබේ.

ඉන් පිළිබිඹු කෙරෙන්නේ, ජනමාධ්‍ය කරණයේ යෙදීම සඳහා දැඩි කොන්දේසි හෝ ඉතා බරපතල පසුබිමක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී එම දර්ශකයේ හිමිව තිබුණේ 150 වන ස්ථානයයි.

ඊට සාපේක්ෂව එම වසරේදී සාධනීය තත්වයක් පෙන්නුම් කර ඇත.

නෝර්වේ සහ එස්තෝනියාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය තුළ සාධනීය කොන්දේසි සහිතව ඉදිරියෙන් සිටින අතර චීනය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව ජනමාධ්‍ය නිදහසේ දරුණුතම පරිහානිය වාර්තා කළ රටවල් වේ.

ජනමාධ්‍යවේදීන්ට එල්ලවී ඇති ආර්ථික පීඩනය ද ප්‍රධාන ගැටලුවක් බව එම දර්ශකය පෙන්වාදෙයි.

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading

තවත් බොහෝ දේ

ජගත් පරිසර දිනය අද යි

Published

on

By

ලෝක පරිසර දිනය (World Environment Day)  අදට (ජූනි 05) යෙදි තිබේ.

1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී එළඹුණු එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා “ලෝක පරිසර දිනය ” ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

අධික ජනගහණය, පරිසර දූෂණය, වන විනාශය, ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික ගැටලුවලට සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටි.

මේ වන විට ලෝකය පුරා මතුව ඇති ආහාර සහ බලශක්ති අර්බුදය හමුවේ පරිසරය පිළිබඳ සෑම දෙනෙකුගේම අවධානය යොමුවීම දැඩි අවශ්‍යතාවක්ව පවති.

2025 වසරේදී “Ending plastic pollution ” ප්ලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය සැමරිම සිදුවේ.

මෙම ගෝලීය තේමාව යටතේ ගෝලීය වශයෙන් ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණයට අවසන් විසදුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට අපේක්ෂිතය.

සීඝ්‍රයෙන් ඉහළ යන ප්ලාස්ටික් භාවිතය තිරසාර සංවර්ධනයේ පාරිසරික, සමාජීය, ආර්ථික සහ සෞඛ්‍ය මානයන් කෙරෙහි අහිත කර ලෙස බලපාන බරපතල ගෝලීය පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. පසුගිය දශක කිහිපය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය වශයෙන් දැනට එය වසරකට ටොන් මිලියන 430 ක් පමණ වේ. වසර 2040 වන විට මෙම අගය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජගත් පරිසර දින ජාතික උත්සවයට සමගාමීව ” ජාතික පරිසර සතියක් ” ප්‍රකාශයට පත් කිරීම සිදුවූ අතර ඒ අනුව මැයි මස 30 දින  සිට ජූනි 05 දින දක්වා සතිය ” ජාතික පරිසර සතිය ”  ක්‍රියාත්මක විය.

මැයි 30 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, මැයි 31 වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය, ජුනි 01 පරිසර පවිත්‍රතාවය පිළිබද දැනුවත් කිරීමේ දිනය, ජුනි 02 ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය, ජුනි 03 ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය, ජුනි 04 වෙරළ කළාප පවිත්‍ර කිරීමේ දිනය ලෙස ක්‍රියාත්මක වූ මෙම පරිසර සතිය තුල අද දිනය (ජුනි 05 )
රුක් රෝපණය හා ජගත් පරිසර දින සැමරුම  වෙනුවෙන් වෙන්කර තිබේ.

මෙම පරිසර සතිය තුල දී පරිසරය සංරක්ෂණය සහ පාරිසරික සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීම සිදු වූ අතර මෙරටට පමණක් ආවේණික මත්ස්‍යෙයකු වන “බන්දුල පෙතියා” සංරක්ෂණය සඳහා එම මත්ස්‍යයන් ජීවත්වන ගලපිටමඩ ප්‍රදේශය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, නව රක්ෂිත වනාන්තර 5ක් නම් කර ගැසට් කිරීම ඇතුළු පරිසර හිතකාමී සැලසුම් ගණනාවක් ඒ අතර විය.

අද දිනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ජගත් පරිසර  දින ජාතික සැමරුම ජනාධිපති  අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30 ට කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

නාවික හමුදාව සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ

Published

on

By

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රාවක් වැටලීමට ගිය නාවික හමුදා යාත්‍රාවකට තවත් යාත්‍රා කිහිපයකින් පැමිණි කිසියම් සංවිධානාත්මක පිරිසක් පහරදීමට තැත්කිරීමේදී සිදුවූ ගිනිඅවි ක්‍රියාත්මක වීමකින් කුච්චවේලි ප්‍රදේශයේ ධීවරයෙකු තුවාල ලබා තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ධීවරයා සහ පහරකෑමට ලක්වූ නාවික හමුදාවේ දෙදෙනෙක් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භකර ඇතැයි නාවික හමුදාව පවසයි.

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් හා යාත්‍රා වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මෙරට ජල තීරය ආවරණය වන පරිදි නිරන්තරයෙන් සිදුකරනු ලබයි.

පසුගිය දා (03) රාත්‍රී 7ත් – 7.30ත් අතර කාලයේ නාවික හමුදා යාත්‍රාවක් ත්‍රිකුණාමලය, කුච්චවේලි මුහුදු තීරයේ එවැනිම විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ, පොඩුකට්ටුව – බෝඩර් පොයින්ට් නමින් හඳුන්වන දිවයිනට ආසන්න දේශීය ජල තීරයේය.

එම අවස්ථාවේ ඩිංගි බෝට්ටුවක සිටි ධීවරයින් 5 දෙනෙක් එහි නීතිවිරෝධී ලෙස ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිට ඇති අතර නාවික හමුදා යාත්‍රාව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ගොඩබිම දෙසට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත්, එම අවස්ථාවේ සංවිධානාත්මක පිරිස් රැගත් යාත්‍රා කිහිපයක් නාවික හමුදා යාත්‍රාව හඹාවිත් ගැටීමට සලස්වා අත්අඩංගුවටගත් ධීවරයින් පිරිස මුදාගෙන පලායාමට තැත්කළ නාවික හමුදාව පැවසීය.

එහිදී නාවික යාත්‍රාවේ සිටි නාවික හමුදා පුද්ගලයින් ඔවුන්ට දැනුම්දී ඇත්තේ රාජකාරියට බාධා නොකොට සිය කටයුතු නීත්‍යානුකූලව සිදුකිරීමට ඉඩ ලබාදෙන ලෙසය.

එහෙත්, පැමිණි සංවිධානාත්මක පිරිස තවදුරටත් කළහකාරී ලෙස හැසිරී යාත්‍රාව පැහැරගැනීමට උත්සාහකර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇත.

තවදුරටත් නියෝග නොතැකූ සංවිධානාත්මක පිරිස නාවික හමුදා පුද්ගලයින්ට පහරදී පොරබැදීමක් ද සිදුකර ඇති නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී සංවිධානාත්මක පිරිසේ අයෙක්, නාවිකයෙකුගේ රාජකාරී ගිනිඅවිය උදුරාගැනීමට යාමේදී එය ක්‍රියාත්මකවී ඇති අතර ඉන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇත.

සිද්ධියෙන් පසු සංවිධානාත්මක පිරිස පලාගොස් ඇති අතර නාවික පිරිස සිය භාරයට ගත් සැකකාර ධීවරයන් සමඟ ගොඩබිමට පැමිණ තිබුණි.

තුවාල ලැබූ 24 හැවිරිදි ධීවරයා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු ඇතුළු ධීවරයින් 5 දෙනා කුච්චවේලි – ජාවානගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ, යාත්‍රාව තුළ සිදුවූ පහරදීමේදී තුවාල ලැබූ නාවික පුද්ගලයින් දෙදෙනෙකු ද මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

කෙසේවෙතත්, මෙහිදී සිදුව ඇති වෙඩිවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඊයේ පෙරවරුවේ කුච්චවේලි ප්‍රදේශයේ උද්ඝෝෂණයක් ද පැවැත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව මූලික පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භ කළ බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තයේ කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් මේ වසරේ මේ දක්වා ධීවර යාත්‍රා 117ක් සහ පුද්ගලයින් 315 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.

පසුගිය 03 වැනිදා  රාත්‍රීයේ පමණක් සිදුකළ එවැනි මෙහෙයුම්වලින් නීතිවිරෝධී යාත්‍රා 11ක් සමඟ පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවටගත් බව ද නාවික හමුදාව පවසයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved