පුවත්

ලෝක මැලේරියා දිනය අදයි

Published

on

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මිනිසාට  ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් ලෙස සැළකේ. ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212 ක් මැලේරියා රෝගයට ගොඳුරු වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව 2015 වසරේ ලෝක ජනගහනයෙන් මිලියන 214 කට මැලේරියාව වැළදී ඇති අතර ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 429,000කි. 

මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වන්නේ අප්‍රිකානු කලාපයෙනි. එසේම දකුණු හා නැඟෙනහිර ආසියානු කලපයේ රටවල් 10ක බිලියන 1.4ක ජනගහනයක් මැලේරියාව වැළදීමේ අවදානමක් සහිතව ජීවත් වෙති. 

මෙවර මැලේරියා දිනයේ තේමාව වන්නේ “වඩා සාධාරණ ලෝකයක් සඳහා මැලේරියාවට එරෙහි සටන වේගවත් කිරීම” යි. 

ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය ලත් රටක් වුවත් වර්තමානය වන විට නැවතත් මැලේරියා රෝගීන් වාර්තා වෙමින් පවතී.

ඒ අතර ඊයේ දිනයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා ප්‍රකාශ කර සිටියේ 2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 ක් ද, පසුගිය වසරේ (2023)  රෝගීන් 62 ක් ද මෙරටින් වාර්තා වී ඇති බවයි.

Trending

Exit mobile version