පුවත්

ලෝක සංස්කෘත දිනය ලංකාවේ සැමරේ

Published

on

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් අද (31) ප්‍රථම වරට ලෝක සංස්කෘත දිනය ශ්‍රී ලංකාවේ දී සැමරීමට කටයුතු යොදා ඇත.

අධ්‍යාපනික සහ සංස්කෘතික වැඩසටහනක් අගෝස්තු 31 වන දින පස්වරු 2ට කොළඹ, බණ්ඩාරනායක සංස්කෘතික මධ්‍යස්ථානයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ රිදී ජුබිලිය වෙනුවෙන් මෙම වැඩසටහන කැළණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය, භික්ෂු විශ්ව විද්‍යාලය, පිරිවෙන්, ජාතික අධ්‍යාපන ආයතනය, යාපනය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් සමාරම්භ කරනු ඇති අතර අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වනු ඇත. 

දිවයින පුරා සංස්කෘත භාෂාව ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ විද්වතුන් මෙම වැඩසටහන සඳහා සහභාගී වනු ඇත. ලෝක සංස්කෘත දිනයේදී ශ්‍රී ලංකාවේ කෘතහස්ත සංස්කෘත විද්වතුන් සඳහා උපහාර ද පිරිනැමෙනු ඇත.

ලොව පවතින පැරණිතම භාෂාවක් වන සංස්කෘත භාෂාව සම්ප්‍රදායන් රැසක පූජනීය භාෂාවන් ලෙස ද සැලකේ. එය වේද සහ යෝග ශාස්ත්‍ර වැනි වෙනත් ශ්‍රේෂ්ඨ සාහිත්‍යමය අංග ඇතුළත් පෞරාණික දැනුම් සම්භාරයක් කැටිකරගත් භාෂාවකි. එසේම, හින්දි සහ සිංහල වැනි වර්තමාන භාෂා රැසක මව ලෙස සැලකෙන්නේ ද සංස්කෘත භාෂාවයි. 

ලෝක සංස්කෘත දිනය සැමරීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් බෙදා හදා ගන්නා උරුමය පිළිඹිබු කරනු ඇති බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.


Trending

Exit mobile version