පුවත්

වකුගඩු ජාවාරමට තවත් 3ක් අල්ලයි; දොස්තර රිස්වි තවමත් නිදැල්ලේ

Published

on

බොරැල්ලේ වෙස්ටන් හොස්පිට්ල් හි සිදුකරන ලදැයි කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරමට ආධාර අනුබල දුන් ප්‍රධාන තරව්කරුවකු සහ ව්‍යාජ ලේඛණ සකස් කර ඒ සඳහා ආධාර අනුබල දුන් ග්‍රාම නිලධාරීන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශයේ පවසයි.

ප්‍රධාන තරව්කරූ ආමරවීදිය ප්‍රදේශයෙන් ද, ග්‍රාම නිලධාරීන් දෙදෙනා රාජගිරිය සහ කඩුවෙල යන ප්‍රදේශවලින් ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ග්‍රාම නිලධාරීන් දෙදෙනා කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරීන් බවද පොලිසිය සඳහන් කරයි.

මොවුන් පදිංචිය සහතික කිරීමේ ලේඛනයක් සැකසීමට රුපියල් 20,000ක මුදලක් ගෙන ඇතැයි ද හෙළිව තිබේ.

දිළිඳු පුද්ගලයන් රවටා මුදල් ලබා දෙන බව පවසමින් මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

අදාළ රෝහලට වකුගඩු ලබාදෙන පුද්ගලයන් සම්බන්ධ කළ තැරැවුකරුට වකුගඩුවක් ලබාදීමට ඉදිරිපත්වන පුද්ගලයෙක් සඳහා රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් රෝහලෙන් ලබාදී ඇති බව පැවසේ.

මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් සිවුදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, මෙම ජාවාරමට පොලිස් නිලධාරියකු සම්බන්ධ බවට හෙළිවුවද ඔහු සම්බන්ධයෙන් මෙතෙක් පොලිස් දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නැතැයි ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එසේම මෙහි ප්‍රධාන සැකකරුවකු බවට පත්ව සිටින බොරැල්ල වෙස්ටර්න් රෝහල හිමිකරු බව කියන මහාචාර්ය රිස්වි ශෙරීෆ් මහතා මෙතෙක් පොලිසිය විසින් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ද නීතිපති අංශයෙන් ප්‍රශ්නකර ඇතැයි වාර්තා වේ.

වකුගඩු ලබාදීමට එකඟ වූ අයට එකඟවූ පරිදි මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ හයදෙනා අතරින් එක් පුද්ගලයකු ඔහුගේ වකුගඩුව පරිත්‍යාග කර ඇත්තේ එම රෝහලේ ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය රිස්වි ශෙරීෆ් මහතාට බද්ධ කිරීම සඳහා බවත් මේවන විට හෙළිව තිබේ.

සබැඳි පුවත්
වෙස්ටන් රෝහලේ මහාචාර්ය රිස්වි අත්අඩංගුවට!; හේමාස්ට නඩු !
හේමාස්, නවලෝක, ලංකා හා වෙස්ටන් වකුගඩු ජාවාරම් රිපෝට් එක මිසින් !


Trending

Exit mobile version