Connect with us

පුවත්

වතුකරයේ පාසල් නවීකරණ ව්‍යාපෘතියට ලබාදෙන ඉන්දීය ප්‍රදානය දෙගුණ කරයි

Published

on

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ අධ්‍යාපන සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය විසින් 2024 ඔක්තෝබර් 18 වන දින ශ්‍රී ලංකාවේ වතුකරයේ පාසල් 9ක් නවීකරණය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදෙන ප්‍රදාන දෙගුණ කිරීම සම්බන්ධයෙන් නිල රාජ්‍ය තාන්ත්‍රික ලේඛන අත්සන් තබා හුවමාරු කර ගන්නා ලදී. 

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ලබා දෙන අමතර අරමුදල් සමඟ ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයේ සමස්ත කැපවීම ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් වේ.

මෙම ව්‍යාපෘතියේ අරමුණ ශ්‍රී ලංකා රජය විසින් හඳුාගන්නා ලද වතුකරයේ පාසල් 9ක යටිතල පහසුකම් ඉහළ නැංවීමයි. මධ්‍යම පළාතේ පාසල් 6ක් සහ ඌව, සබරගමුව සහ දකුණු පළාතේ පාසල් එක බැගින් පාසල් තුනක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතිය අධ්‍යාපනය යන වැදගත් ක්ෂේත්‍රය තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද සහ දැනට ක්‍රියත්මක කරන සංවර්ධනසහයෝගීතා මුලපිරීම් රැස අතරින් එකකි. යටිතල පහසුකම් සංවර්ධනය සහ උපකරණ සැපයීමට අමතරව පුහුණුව ලබා දීම සහ ධාරිතා සංවර්ධනය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘතීන් සඳහා විශේෂ අවධානයක් යොමු වන ක්ෂේත්‍රයක් වේ. උතුරු පළාතේ පාසල් 100කට අධික සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කිරීම;දකුණු සහ නැගෙනහිර පළාතේ ඉ-පුස්තකාල 40ක් ස්ථාපනය කිරීම;දිවයින පුරා අධ්‍යාපන ආයතනවලට බස් රථ 110ක් සැපයීම;දිවයිනේ සෑම පළාතකම ඉංග්‍රීසි භාෂා රසායනාගාර පිහිටුවීම;රුහුණ විශ්ව විද්‍යාලයේ රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ඇතුළුදිවයින පුරා විවිධ ආයතනයන්හි ශ්‍රවණාගාර ඉදිකිරීම සහ නවීකරණය කිරීම;උතුරු මැද පළාතේ බහු ජාතික ත්‍රෛ භාෂා පාසලක් ඉදිකිරීම;මධ්‍යම පළාතේ හැටන්හි තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ නැගෙනහිර පළාතේ වන්තරමුල්ලෙයි සහ ඔන්තච්චිමඩම් මධ්‍යස්ථාන වැනි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා සහයෝගය ලබා දීම; දකුණු පළාතේ ගාල්ලේ පාසල් 200ක සුහුරු පන්ති කාමර සහ පරිඝනක විද්‍යාගාර ස්ථාපනය කිරීම වැනි පියවර අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් කිහිපයක් පමණි. ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් ගතවීම සනිටුහන් කරමින් පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියනු රුපියල් මිලියන 750ක බහු ආංශික ප්‍රදාන පැකේජය යටතේ වතුකරයේ පාසල්වල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන විෂයන් සඳහා ත්‍රෛමාසික ගුරු පුහුණු වැඩසටහනක් ද මෑතකදී පැවත්වීය.

පුවත්

අභියාචනාධිකරණ විනිසුරු පත්වීම් 02කට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Published

on

By

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යොමු කරන ලද එම නාමයෝජනා සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන් අභියාචනාධිකරණයේ විනිසුරුවැන් ලෙස පත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට සිදුකළ යෝජනාව ව්‍යවස්ථා සභාවේ දී සලකා බලා නොමැති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනක් තවමත් හිස්ව නොතිබීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් සිදුකර තිබූ නාම යෝජනාව ආණ්ඩු පාර්ශවය විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය මාර්තු මස 11 වනදා ද අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් තිදෙනෙකු පත්වීම් ලැබීය.

(අද දෙරණ)

Continue Reading

පුවත්

ජර්මනියේ නිල සංචාරයෙන් පසුව ජනපති යළි දිවයිනට

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier), ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul) සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) යන මහත්ම මහත්මීන් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී  රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථික, ආයෝජන සහ වෘත්තීය පුහුණු ආදී ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සොයා බැලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මීට අමතරව, ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකටද සහභාගී විය.

ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් එම සංගම් මුලස්ථානයේදී (DIHK) සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද සිදු කළේය.

ජනාධිපතිවරයා සිය නිල සංචාරය අතරතුර ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද කටයුතු කළේය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරටට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිසක්, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබේ.

ඔවුන් මෙරටට පැමිණ තිබුණේ කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙනි.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම:ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත ය.

මෙම සංචාරයේ දී, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳ ව  ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂිකාව අපේක්ෂා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved