Connect with us

පුවත්

වනන්තර හෙක්ටයාර 256,000ක් පමණ ගැසට් කර නෑ!

Published

on

ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ  පවත්වාගෙන යන  ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව  පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. 

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ  දකුණු කොරියාව, ජපානය යන රවටල් දෙක පමණක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ.

මේ පිළිබද කරුණු අනාවරණය වූයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 25 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

2020, 2021 හා 2022 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණි. ලෝක‍යේ රටවල් තුළ  පවතින  වනාන්තර වල  ප්‍රතිශතය 31% ලෙස  සලකන අතර මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු  පෙන්වා දුන්හ. 

ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය ගැසට් නොකිරීම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී. 2018 වන විට හෙක්ටයාර මිලියන 1.4 ක පමණ වනාන්තර ගැසට් කර ඇති බවත් ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකළ වනාන්තර හෙක්ටයාර දෙලක්ෂ පනස්හය දහසක් පමණ පවතින බවත් නිලධාරීහු පැවසුහ. ඒ අනුව එම ගැසට් නොකළ වනාන්තර හැකි ඉක්මනින් ගැසට්  කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන් කාරක සභා සභාපතිවරයා එලෙස  ගැසට්  කිරීමට ගතවන කාලය, ගැසට් කිරීමෙන් පසු එම වනාන්තර කුමන අධිකාරිය භාරයේ පවතින්නේද යනාදී  කරුණු ඇතුළත්  වාර්තාවක් මාස  දෙකක් තුළ  කාරක සභාවට යොමු කරන ලෙස  උපදෙස් ලබාදුන්නේය.

ලෝක උරුම  සිංහරාජ වනාන්තරය නැරඹීම සඳහා වැඩිම දෙස් විදෙස් සංචාරකයින් පැමිණ ඇත්තේ මෙම වසරේ  බව  නිලධාරීහු පෙන්වා දුන්හ.  සමස්ත සංචාරකයින් 35000කට අධික පිරිසක්  සිංහරාජ  වනාන්තරය නැරඹීමට මෙලෙස ගතවූ මාස කිහිපය තුළ පැමිණ  තිබේ. මෙහිදී වනාන්තරයට හානි සිදු නොවන අයුරින් තවදුරටත් සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි කරමින්  ඉහළ  සංචාරක ආකර්ශනයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස කාරක  සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අතර  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, තොරතුරු ලබාදීම සඳහා ප්‍රධාන කාර්යාලයේ මධ්‍යගත දත්ත පද්ධතියක්  පවත්වාගෙන නොයෑම  සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. ඒ අනුව ඒ සඳහා වන මුලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූ අතර  මෙහිදී අදහස් දක්වමින්  කාරක සභා සභාපතිවරයා ඒ පිළිබඳ වාර්තාවක් ද කාරක සභාවට යොමුකරන ලෙස  නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිඟ අදායම්  අයකර ගැනීම සඳහා ඵලදායී අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත  කර නොතිබීම පිළිබඳව  කාරක සභාව වීමසන ලදී. එහිදී කළු ගල් කොරි ,කුඩා පරිමාණ ජල විදුලි බලාගාර හා සම්ප්‍රේෂණ  කුළුණු මගින්  හිඟ අදායම් ලබා ගැනීමට පවතින බව ජාතික විගණ කාර්යාලයේ නිලධාරීහු කාරක සභාවට පෙන්වා දුන්හ. ඒ අනුව කළු ගල් කොරි සඳහා වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන බලපත්‍රය ඉක්මවා කළු ගල් කැඩීම  ඔස්සේ  මෙලස හිඟ අදායම් ලබා ගැනීමට පවතින බව නිලධාරීහු පැවසුහ. ඒ අනුව  කළු ගල් කැඩීමට බලපත්‍ර ලබාදීමේදී  ඒ  සඳහා අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය අදාළ ආයතන හා සම්බන්ධවෙමින් නියමිත ප්‍රමාණයට පමණක් ලබාදීමට කටයුතු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම සම්ප්‍රේෂණ කුළුණු ලබාදීම ඔස්සේ  දුරකථන සන්නිවේදන ආයතනවලින් ද  ලබාගැනීමට  විශාල  හිඟ මුදලක් පවතින බව  නිලධාරීහු පෙන්වා දුන්හ . ඒ අනුව එම සියලු හිඟ මුදල් ලබාගැනීමට කටයුතු කරන ලෙස  කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අතර  වල්ලාපට්ට  නම් ශාකය  මෙරටට විදේශ විනිමය  රැගෙන ඒමේ ඉහළ  හැකියාවක් පවතින ශාකයක්  වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන්  වැඩි අවධානයක් යොමු කරන ලෙසට  කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී .මෙහිදී නිලධාරීහු විසින් වල්ලපට්ට ශාකය වගා  කිරීමට නීතියෙන් කිසිදු තහනමක් නොමැති බව කාරක සභාවට දැන්වුහ. කෙසේ වෙතත් මෙම ශාක වනාන්තරවලින්  කැපීම් කර නීතිවිරෝධීව බපලත්‍ර රහිතව රැගෙන යාම තහනම් බවද ඔවුහු පෙන්වා දුන්න. වල්ලපට්ට ශාකයට  සමාන ලක්ෂණ පවතින ඇක්විලාරියා (Aquilaria) නම් ආනයනික ශාකය  මේ වනවිට ශ්‍රී ලංකාව තුළ  වගාකිරීම ආරම්භ කර තිබෙන බවද එම  නිලධාරීහු  පෙන්වා දුන්න. වල්ලාපට්ටා  සහ ඇක්විලාරියා ශාක වල වෙනස පහසුවෙන්  හඳුනාගැනීමට නොහැකි බවද එම නිලධාරීහු වැඩි දුරටත් පැවසූහ. එම හඳුනාගැනීමේ අපහසුව හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් වනාන්තරවලින් කපාගන්නා ලද  වල්ලපට්ට ශාක ,පෞද්ගලික වගාවන්ගෙන් ලබාගත් ශාක ලෙස හුවාදැක්වීමට කටයුතු  කරන බව පෙන්වා දුන්න. එම තත්ත්වය  මග හරවාගැනීමට විද්‍යාත්මක  ක්‍රමයක් මගින් අදාළ ශාක වර්ග දෙක හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading

පුවත්

දුන් පොරොන්දුව ගැන කාදිනල් හිමි ජනපතිට යළි මතක් කරයි

Published

on

By

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ඇතැම් රජයේ ආයතන තුළින් ක්‍රියාත්මක වෙමින් පවතින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවැත් වෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ප්‍රධාන අනුස්මරණ දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

එම පරාජිත දේශපාලන බලවේගවලට යටවූ විවිධ රජයේ ආයතන මෙහෙයවන පාරරාජ්‍යයක් ක්‍රියාත්මක වන බව ද කාදිනල් හිමි මෙහිදී පැවසීය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය නීතිය හමුවට ඉතා ඉක්මනින් ගෙන්වනු ඇතැයි තම ඒකායන බලාපොරොත්තුව බව ද පැවසු කාදිනල් හිමිපාණන්, ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කළේය.

එනම්,

1. පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනගත කිරීම.
2. පාස්කු වැඩිදුර වැඩිදුර විමර්ශන නිරීක්ෂණයට හා නඩු පැවරීම ස්වාධීන අධිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම.
3. ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ සියලු බලවේග කවරේදැයි සොයා බලා සත්‍ය රටට හෙළිකර, ඒ සඳහා ක්‍රියාත්මක වූ චූදිතයින් තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒම.
4. 2019 සැප්තැම්බර් 21 ජනාධිපති කොමිසම් වාර්තාවේ සියලු නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීම.
5. හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නැමති ත්‍රස්ත නායකයා අතර, තිබූ සම්බන්ධය හා එංගලන්තයේ චැනල් 4 මගින් ඉදිරිපත් කළ වැඩසටහන පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් දියත් කර එහි ප්‍රධාන සාක්ෂියක් මෙහෙය වූ අසාද් මව්ලානා කී දේ ගැන ගැඹුරු විමර්ශනයකට ලක්කිරීම.
6. පාස්කු ප්‍රහාරයට තුඩු තුන් සියලු රහස් කුමන්ත්‍රණ පිටුපස තිබූ අව නීතියේ සංස්කෘතිය හා එයට උඩගෙඩි දෙන පාරරාජ්‍ය මේ රටින් ඉවත් කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය.
7. රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයෝ මිස පාලකයෝ නොවන බවට නව සංස්කෘතියක් දෙසට අප රට මෙහෙයවීම.

“පාස්කු ප්‍රහාරයෙන් පසුව එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා මහා කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස ඇතැයි කියූ ප්‍රකාශයවත් තුට්ටුවකටවත් නොසලකා හැර එම තනතුරට පසුව පැමිණි නීතිපතිවරයා මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ද මේ ප්‍රහාරයේ පසුබිම හා එහි නීතිමය කටයුතු ගැන දැක්වූ මන්දගාමී හා පවතින පාලකයින්ට ළෙන්ගතුව ක්‍රියාකිරීමේ පිළිවෙත ද අද වෙනතුරුම මෙම නිලධාරීවාදයේ දක්වන සීතල වතුර ඉසීමේ ප්‍රතිපත්තිය නිසා ජනතාව විසින් පත්කරගන්නා ලද රජයකට විරුද්ධව හෝ තීරණගැනීමට ශක්තියක් ඇති පාරරාජ්‍යයේ ක්‍රියාකාරීත්වය කොතරම් දුරටත් බලවත්දැයි අපිට පෙන්වනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමන් ඉතා උනන්දුවෙන් මේ කටයුත්තට අතගසා ඇතත් එය මෙහෙයවීමට උසස් නිලධාරීන් කණ්ඩායමකට පවරා ඇතත් පවතින නීති පද්ධතිය හා එය ක්‍රියාවට නැංවීම භාර ඇතැම් නිලධාරීන්ගේ මන්දගාමී පැවැත්ම ඉදිරි කටයුතු විවිධ බාධක මධ්‍යයේ සිදුවන තත්ත්වයකට පත්ව ඇත. ජනතාව විසින් පවතින රජයට තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ අවශ්‍ය ලෙස ව්‍යවස්ථාමය හා නෛතික වෙනස්කම් කරමින් ශ්‍රී ලංකා දේශය ලෙයින් තෙත් කළ ඇතැම් දේශපාලනික හා දාමරික බලවේග හෙළිදරව් කරමින් මිනිස් ඝාතන, අතුරුදන් කිරීම්, සුදු වෑන්, වධකාගාර, පාතාල ක්‍රියාකාරකම්, පෞද්ගලික හමුදා ආදිය තුළින් අප ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ අය හඳුනාගෙන, ඒ අය නීතිය හමුවට ගෙන එන්නට ඉක්මනින් ක්‍රියා කරනු ඇතැයි සිතමිනි.

පාස්කු ප්‍රහාරයේ දීර්ඝ කඳුළු කතාවේ තවත් එක් පරිච්ඡේදයකි. දැනට පවතින නීතිරීති, යුක්තිය ඉටුකර රට පිරිසිදු කිරීම සඳහා නොසෑහේ නම් කළ යුත්තේ ඒ නීතිරීති වෙනස් කිරීමට ධෛර්යවන්ත වීමයි. ඒ සඳහා මේ රටේ පොදු ජනතාව ඉතා උනන්දුවෙන් පවතින රජයට සහාය දැක්වූ බව පැහැදිලිය. ඒ අනුව අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, මේ සිදුවූ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දේශපාලනිකව ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ක්‍රියාදාමයන්ගෙන් අප සමාජය පිරිසිදු කිරීමට ක්‍රියාකාරී වන ලෙසයි. ජනාධිපතිතුමනි, මේ ප්‍රහාරයේ අහිංසකයින් ලේ හැලීම ඔබ තුමන් 2024 ඔක්තෝබර් 6 වන දින මීගමුවේ කටුවාපිටියේ දී පොරොන්දු වු ලෙසම, කාලයේ වැලිතලාවට යට වන්නට ඉඩ නොදී මෙහි සත්‍ය පසුබිම සොයා එයට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනු ඇතැයි අපගේ ඒකායන බලාපොරොත්තුවයි.”

Continue Reading

පුවත්

මෛත්‍රී CID ඇවිත්

Published

on

By

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved