Connect with us

පුවත්

වනඅලින්ට මරු කැඳවූ දුම්රිය අනතුරු ගැන රියදුරා කළ හෙළිදරව්ව

Published

on

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් අද (18) අලුයම අනතුරක් සිදුව තිබුණි.

ඒ මින්නේරිය සහ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දීය.

මෙම අනතුරින් දුම්රියේ ඉන්ධන ටැංකි හතරක් පීළි පැනීමටකට ලක්වූ අතර දුම්රිය එන්ජිම සහ නියාමකවරයා ගමන්කරන මැදිරියද පීළිපැනීමට ලක් විය.

අනතුරින් වනඅලි දෙදෙනෙකු මියගොස් තවත් වන අලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා තිබුණි.

එමෙන්ම ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයටද දැඩි හානි සිදුව තිබේ.

අනතුරට ලක් වූ දුම්රිය මැදිරි 8කින් සමන්විත වූ අතර, එක් ටැංකියක අන්තර්ගත වී ඇති ඉන්ධන ප්‍රමාණය ලීටර් 50,000කි.

ඒ අනුව පෙට්‍රල් අන්තර්ගත ටැංකි 3ක්ද, ඩීසල් ටැංකි මැදිරි 5ක් ද දුම්රියට සම්බන්ධ කර තිබුණි.

අනතුරින් පසු පෙට්‍රල් අන්තර් ගත ටැංකි මැදිරි දෙකක් මුළුමණින්ම පෙරළී ගොස් ඇති අතර අනෙක් මැදිරියද පීළී පැන තිබුණි.

ටැංකිවල අන්තර්ගතවූ පෙට්‍රල් ලීටර් ලක්ෂයක් පමණ විනාශ වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය රියදුරු පැවසුවේ තමන් උපරිම ලෙස තිරිංග ක්‍රියාත්මක කළ නමුත් අනතුර වළක්වා ගැනීමට නොහැකි වූ බවය.

“කොළඹ ඉඳන් මේක එන්න තියන්නේ උදේ 10ට. අපි ගත්තේ ගල්ඔයින්. ගල්ඔයින් ස්ටාට් කලේ පාන්දර 2.54යි. මෙතනට එනකොට මීටර් 10ක් වගේ තියෙද්දි අලි රංචුවක් පාර හරහා ගියා දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට. අපි තිරිංග ක්‍රියාත්මක කළා උපරිම වශයෙන්. ඒත් වැදුණා ඉතිං.”

අනතුර සිදුවන ස්ථානයේ ධාවන වේගය පැයට කිලෝමීටර 20ක් ලෙස සටහන් ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එය ඉක්මවා ගොස් ඇතැයි පැහැදිලි වන බව වනජීවි නිලධාරීන් පවසනවා.

මේ සම්බන්ධව අදහස් දැක්වූ මින්නේරිය වන සත්ව අඩවි ආරක්ෂක චමින්ද කුමාර මහතා,

“කොහොමත් මේ කළාපය අලි වදින කළාපයක්. අපි පසුගිය දිනවලත් ප්‍රධාන කාර්යාලය මැදිහත් වෙලා දුම්රිය රියදුරන් දැනුම්වත් කළා මේ හරියේ අලි නිතරම වදිනවා, කොහොමද මේ අලින් බේරගන්නේ කියලා. නමුත් මාසයක් වගේ යනකොට නැවත ඒවගේ අනතුරක් සිද්ධ වෙලා තියනවා.”

කෙසේ වෙතත් වේග සීමා ඉක්මවා යාම ගැන එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්ත මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

“මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ මණ්ඩලයක් පත් කරලා තියනවා. ඒ පරීක්ෂණ මණ්ඩලයේ තොරතුරු දත්තයන් ඒකරාශි කරගෙන, ඒ ඒ දුම්රිය ස්ථානයන්ට ලබා දී තිබෙන වේග සීමා මොනවාද?, කොට්ඨාසයට දීලා තියන වේග සීමාව කොච්චරද?, මේගොල්ලෝ ගමන් කරලා තියන වේග සීමාව කොච්චරද කියන එක අපිට පරීක්ෂණය අවසානයේ දැනගන්න පුළුවන් වෙයි.”


(පෙර පුවත 2024 ඔක්තෝබර් 18 පෙ.ව.09:03)

වන අලි රෑනක් තෙල් කොච්චියේ හැපිලා; එක අලියෙක් මරුට, තව කිහිපදෙනෙකුට තුවාල (ඡායා)

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදි අද (18) අලුයම 3.30ට පමණ වනඅලි රංචුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඉන් දුම්රියේ ඉන්දන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරළි ගොස් ඇති බව සදහන් වේ.

එමෙන්ම දුම්රිය එන්ජිම සහ නියාමකවරයා ගමන්කරන මැදිරිය ද පිළිපැනීමට ලක්ව ඇති අතර අනතුරින් වනඅලියෙකු මිය ගොස් තවත් වනඅලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවය.

මේ වන විට මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවතී ඇති අතර අද උදෑසන කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියන් දෙක අවලංගු කර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved