පුවත්

වර්ජනය නිසා දුම්රිය කිහිපයක් අවලංගුයි

Published

on

දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ධාවනාගාර කිහිපයක ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙන අතර මේ හේතුවෙන් අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබේ.

මෙම වර්ජනය හේතුවෙන් අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 20ක් පමණ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන හලාවත, ගනේවත්ත සහ අලුත්ගම සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය කිහිපයක් මෙන්ම කොළඹ සිට ධාවනය වීමට නියමිතව තිබූ කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු වී ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මේ වන විට රඹුක්කන, පොල්ගහවෙල, මහනුවර, මහව, කුරුණෑගල, ගාල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට දුම්රිය පැමිණෙන බව එම්.ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේය.

වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් අදාළ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේය.

“දුම්රිය එංජින් රියදුරු ශ්‍රේණියට වසර ගණනක් තිස්සේ, වැටුප් කේතයක් නැති ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපේ ශ්‍රේණිය සම්බන්ධ වෙලා තියෙන උසස්වීම් ලබාගැනීමේ ගැටලුවක් තියෙනවා. වැටුප් කේතයක් නැති නිසා බඳවා ගැනීමේ පටිපාටියක් නොමැති වීමෙන් සියලුදේවල් ඇනහිටලා තියෙනවා. ඉතාම අපහසුතාවයට පත්වෙලා ඉන්න කණ්ඩායම් දෙකක් තියෙනවා එංජින් දුම්රිය සේවයේ. ඔවුන් අපේ සංගමයට දිගින් දිගටම බලපෑම් කරා මේකට සම්බන්ධ වෙන ලෙස. ඒ අනුව අප සංගමය මීට සති දෙකකට පෙර ජනාධිපති, අගමැති, ප්‍රවාහන අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දැනුවත් කරලා තියෙනවා. ඒ අනුව මෙතෙක් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න වුණා. ගැටලු රැසකට මුහුණදීලා සිටින ධාවනාගාර දෙකක් තමා මේකට සම්බන්ධ වුණේ. ඉදිරියේදී පිළිතුරක් නොමැති නම් සියලුම රියදුරන් සම්බන්ධ වෙලා තව දුරටත් ඉදිරියට යන්න ඉඩතියෙනවා.”

Trending

Exit mobile version