Connect with us

පුවත්

වරායේ බෝට්ටු අරගෙන “චොකා මල්ලි” පොහොට්ටු මන්ත්‍රීලා එක්ක ජෝගි නටලා

Published

on

වරාය අධිකාරිය සතු හංසකාවා සහ දියකොවුල්ලා නමැති කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09) විනෝද සංචාරයක නිරතව ඇතැයි වාර්තා වේ.

වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලී) විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ටග් යාත්‍රා වන මෙම කුඩා ප්‍රමාණයේ නෞකා ද්විත්වය වෙන්කර දී තිබෙන බවත් මෙම නෞකා දෙකෙහි සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන් සඳහා සියලුම ආහාර පාන වර්ගද එම අධිකාරිය විසින් සලසා දී ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රිවරුන් මෙම විනෝද චාරිකාව සඳහා රැගෙන ගිය නෞකා දෙකම වරායට එක්රොක් වන වැලි ඉවත් කිරීම සදහා භාවිත කරන සුපතළ නෞකා දෙකක් බවද වරාය ආරංචිමාර්ග සඳහන් කරයි.

මන්ත්‍රිවරුන් පනස් දෙනකු සඳහා සූදානම් කළ මෙම විනෝද සංචාරය සඳහා වරාය අධිකාරියට රුපියල් ලක්‍ෂ 25 කට අධික මුදලක් වැය වී ඇතැයිද වාර්තා වේ.

වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරණ ඔහුගේ දියණිය සෙනාලි ජයසේකර විසින් මන්ත්‍රිවරුන් සඳහා සූදානම් කළ මෙම විනෝද සංචාරයට අවශ්‍ය ආහාර පාන සහ ද්‍රව්‍ය ලැයිස්තුවක් සපයන ලෙසට වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් පෙරේදා (08) ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇතැයි ද පැවසේ.

එම ලිපියට අනුව චීස් සැන්ඩ්විච්, බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි, පේපර් කප්, කුඩා වීදුරු, හැඳි සහ ගෑරුප්පු, කුඩා පිඟන්, පුටු (කවර සහිත) එක වර්ගයකින් 55 බැගින්, වතුර බෝතල් (පොඩි) 60 ක්, ටිෂූ පැකට් 5 ක්, ටෙන්ට් එකක් පුටු 10 ක් සහ මේස සහිත (ඇමැති ආරක්‍ෂක අංශය සඳහා) ලබාදෙන්නැයි ඉල්ලීම් කර ඇත.

එම ලිපියෙන් මන්ත්‍රිවරුන්ට සංග්‍රහය පිළිගැන්වීම සඳහා වරාය කාර්ය මණ්ඩලයේ 5 දෙනෙක් යෙදවීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබිණි.

මෙම චාරිකාව සඳහා යොදාගත් වරාය අධිකාරිය සතු නෞකා දෙක පසුගිය දෙසැම්බර් මස 13 වැනිදා යොමු කළ ලිපියක් හරහා වෙන්කර ඇත.

නව වසරේ ආරම්භ වෙනුවෙන් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙනුවෙන් සූදානම් කළ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරය සඳහා සහභාගී වන මන්ත්‍රිවරුන්ට ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා විසින් ඇරයුම් පත්‍රද වෙන වෙනම ලබාදී තිබෙන අතර ඔවුන් සියලු දෙනාට (09) පස්වරු 06 වන විට වරාය පරිශ්‍රයට පැමිණෙන්නැයි එමගින් දැනුම් දී තිබිණි.

මේ සම්බන්ධයෙන් විමසීමට වරාය රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද ඇමතිවරයාගෙ දුරකතනයට කාන්තාවක් ප්‍රතිචාර දැක්වීම නිසා එය ව්‍යර්ථ වූ බව අරුණ පුවත්පත වාර්තා කර ඇත.

මේ සංචාරයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගිවී ඇති බවට මේ අතර වාර්තා පැතිර තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් දිය කොව්ලා හා හංසකාවා යාත්‍රා දෙක පුහුණු සේවකයින් හිඟකම හේතුවෙන් කාලයක් මෙහෙයුම් වලින් ඉවත් කර තිබූ අතර එය ඉකුත් වසරේ ජනවාරියේ නැවත සේවයට එක් කිරීම සම්බන්ධයෙන් ITN නාලිකාව තබා තිබූ ප්‍රවෘත්ති සටහනක් පහත දැක්වේ.

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved