Connect with us

පුවත්

වරාය අධිකාරියේ අක්‍රමිකතා රැසක් හෙළිවේ!

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 05දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා වරාය අධිකාරිය කැඳවා තිබිණි.

මෙහිදී 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදුවූ අතර වරාය නාවික හා ගුවන් සේවා අමාත්යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්  ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි. 

එසේම 2022 ජුනි 22 දින ශ්‍රී ලංකා වරාය අධිකාරිය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බැලීම සිදු විය.
මෙහිදී පහත සදහන් කරුණු පිළිබද අවධානය යොමුවිය.

මාස 3ක් ඇතුළත විශේෂ යෝජනාවලි 3ක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායම් ඉහළ නැංවීම සම්බන්ධයෙන්, පිරිවැය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් යෝජනාවලි 3ක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කමිටු සභාපත් ගරු මහාචාර්ය රංජිත් බණ්ඩා මහතා නිර්දේශ කළේය. 

මෙහිදී එළඹෙන දෙසැම්බර් මස 08 වැනි දින වරාය අධිකාරිය කෝප් කමිටුවට කැඳවන බවත් ඉන් පෙර මෙම වාර්තා 3 කෝප් කමිටුවට ලබා දිය යුතු බවත් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය. මේ අනුව එම යෝජනාවලි 3 ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට පැමිණි නිලධාරීන් එකඟ විය.


2016 – 2021 දක්වා ඒකාබද්ධ අරමුදලට මුදල් ගෙවා නෑ
මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පසිගිය වර්ෂ කිහිපයක මූල්‍ය ප්‍රතිඵල පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර එහිදී 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය උපයාගෙන තිබූ ලාබයෙන් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු රුපියල් මිලියන 4.975 ක් නොගෙවීම පිළිබඳ කෝප් කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටියේය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ මාස දෙකක් ඇතුළත මෙම මුදල ගෙවීමට කටයුතු කරන බවයි.

දොඹකර ගිවිසුම් ගැන වාර්තාවක්

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව උපරිම කිරීමට විශාල ප්‍රමාණයේ දොඹකර 12 ක් සහ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40 මිලදීගැනීමට කොන්ත්‍රාත්කරු සමග එළඹි ඇ.ඩො. මිලියන 282.56 ක ගිවිසුම සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව පැමිණි නිලධාරීන්ගෙන් විමසීම මෙහිදී සිදි විය. 

පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 ජූනි 22 කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදීද මේ පිළිබඳව සාකච්ඡා කළ බවත්ය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ 2021 වර්ෂයේ මේ පිළිබඳ ගිවිසුම්වලට එළඹුන බවත් ලංකා බැංකුවෙන් ණය වර (LC) නිකුත් කළද රටේ පැවති තත්ත්වය නිසා මෙම ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ බවයි. 

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ මෙම ගිවිසුම සංශෝධනය නොකිරීම නිසා ඉදිරියේදී නීතිමය ගැටලු මතු විය හැකි බවයි. එසේම මේ සඳහා මෙහෙයුම් පිරිවැයක්ද වැයවී ඇති බවයි. මේ නිසා මේ පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදීමට කෝප් කමිටුව නිර්දේශ කරන ලදි.


බහාලුම් හැසිරවීමේ ධාරිතාවය අඩු වෙලා

කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහාලුම් හැසිරවීමේ ධාරිතාවය 2001 වර්ෂයේ සිට 2022 වන විට 81% සිය 28% දක්වා අඩු වී ඇති බව විගණකාධිපති වාර්තා අනුව නිරීක්ෂණය වන බව මෙහිදී කෝප් කමිටුව පෙන්වා දන්නේය. 

එසේම බටහිර පර්යන්තය පෞද්ගලික ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ආදායම වැඩිකරගැනීමට කටයුතු කොට ඇති බවත් පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දන්හ. 

මේ නිසා පෞද්ගලික අංශය සමග තරඟකාරීව කයුතු කිරීමේ හැකියාවද ඇති කරගත යුතු බව කෝප් කමිටුව පෙන්වා දෙන ලදි. එසේම ඉදිරි වසර 5 වෙනුවෙන් සංයුත සැලැස්ම සකස් කිරීම පිළිබඳවද මෙහිදී කමිටුව විමසන ලදි.  මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට ඉදිරි වසර 5 වෙනුවෙන් සකස් කරන සංයුත සැලැස්මේන් 50% පමණ අවසන් බවයි. 

මෙහිදී නැවත මෙම අධිකාරිය කෝප් කමිටුවට කැඳවන විට මෙම සැලැස්ම කමිටුවට ඉදිරිපත් කරීමටද නිලධාරීන් එකඟ විය. 

2018 – 2022 වර්ෂය දක්වා කොළඹ – ගාල්ල – ත්‍රි’මලේ වරායන්ට නාවික යාත්‍රා ඒමේ අඩුවක්

2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායන් වෙත නාවික යාත්‍රා පැමිණීම අඩු වීම පිළිබඳවද මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමු විය. 

මෙහිදී 2020 වර්ෂයේ සිට කන්කසන්තුරේ වරායට එක් නැවක් හෝ නොපැමිණීම පිළිබඳවද කෝප් කමිටුව ප්‍රශ්න කළේය. 

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2022 වර්ෂයේදී අඩුවක් පැවති බවත් මේ වන විට එය යහපත් තත්ත්වයට පත්වෙමින් පවතින බවත්ය. 

විශේෂයෙන්ම මෙහිදී නිලධාරීන් සඳහන් කළේ කොළඔ වරාය හැර අනෙකුත් වරායන් සිමෙන්ති වැනි අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා යොදාගත් බවත් පසුගිය කාලසීමාව තුළ මෙම අමුද්‍රව්‍ය ගෙන්වීම අවම වීමත් මේ සඳහා හේතුවක් වූ බවත්ය. මේ අනුව පළාත් මට්ටමෙන් පවතින වරායන් තවත් සක්‍රීය කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබාදුන්නේය.


ගාල්ලේ බහු කාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවලා

ගාල්ල වරායේ බහු කාර්ය පර්යන්තයක් ඉදිකිරීමට  සැලසුම් කොට ඒ සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමතිය ලබා ගැනීම වසර 3ක් ප්‍රමාද වීම නිසා එම ව්‍යාපෘතිය අත්හිටුවීමට සිදු වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. 

විශේෂයෙන් 2006 මාර්තු 28 දින ශ්‍රී ලංකා රජය හා අන්තර්ජාතික සහයෝගිතාවය සඳහා වූ ජපාන බැංකුව විසින් මේ සම්බන්ධයෙන් ණය ගිවිසුම් අත්සන් කොට තිබූ අතර ලෝක උරුමයක් ලෙස නම්කොට තිබූ ගාලු කොටුව ආශ්‍රිතව ඉදිකිරීම් සිදු කිරීමට යුනෙස්කෝ සංවිධානයේ අනුමතිය ලබාගැනීමට අවශ්‍යව තිබී ඇති අතර වසර 3ක් යනතෙක්ම මෙම අනුමතිය ලබා නොගැනීම නිසා මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කොට ඇත. 

නමුත් මේ වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 418 ක් වූ උපදේශක ගාස්තුව නිශ්කාර්ය වියදමක් ලෙස නිරීක්ෂණය වන බවත් කමිටුව පෙන්වා දන්නේය. 

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ හම්බන්තොට වරාය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදීම නිසා ගාල්ල වරාය පිළිබඳ ප්‍රමුඛතාවය අවම වූ බවයි. 

නමුත් ඉදිරියේදී සංචාරක වරායක් ලෙස ගාල්ල වරාය දියුණු කිරීමට බලාපොරොත්තු වන නිසා මෙම මුදල් නිෂ්කාර්ය වියදම් නොවන බවත් නිලධාරීන් සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම කටයුත්ත වෙනුවෙන් සම්බන්ධතාවක් නොදක්වා ඇති බවද නිලධාරීන් සඳහන් කළේය.


අතිරික්ත සේවකයන් 914ක් හිටියත් OT ගෙවලා!

වරාය අධිකාරියේ අතිරික්ත සේවක සංඛ්‍යාව 914 ක් සිටින බවත් එසේ සිටියදීත් සේවකයින්ට අතිකාල දීමනා ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය විය. 

මෙහිදී 2021 වර්ෂයේත් මෙලෙස අතිකාල දීමනා වශයෙන් මුදල් ලබා දී ඇති බව නිරීක්ෂණය වන බවද කෝප් කමිටුව පෙන්වා දනුනේය. 

මේ අනුව මෙම අතිරික්ස සේවක සංඛාව සම්බන්ධයෙන් අවධානය යොමුකොට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කළමනාකරණ දෙපාර්තමේන්තුවටද කෝප් කමිටුව විසින් උපදෙස් ලබා දුන්නේය. 

මේ අනුව මාස 3 කට පසු මෙම අධිකාරිය නැවත කඳවන විට මෙම සේවක සංඛ්‍යාව සම්බන්ධ ගැටලුව විසඳාගැනීමට කටයුතු කරන ලෙස කමිටුව උපදෙස් ලබා දුන්නේය.


සියලු ගේට්ටු හා බන්ධිත ගුදම් ආවරණය වෙන්න CCTV සවි කර නෑ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු ගේට්ටු සහ බන්ධිත ගුදම් ආවරණය වන ආකාරයෙන් CCTV කැමරා සවි කිරීමේ කටයුතු සිදු නොකිරීම පිළිබඳ විමසා බැලීමද මෙහිදී සිදු විය. 

මෙහිදී අවශ්‍ය ස්ථාන සඳහා ක්‍රම ක්‍රමයෙන් CCTV කැමරා සවි කිරීම සිදු කරන බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය. 

මේ වන විට කැමරා 538 ක් සවි කර ඇති බවත් ඉදිරියේදී 400 පමණ සවිකරන බවත් එම නිලධාරීන් පෙන්වා දුන්නේය. මාස 6 ක් ඇතුළත මෙම CCTV කැමරා සවි කිරීමට කටයුතු කරන බවද පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය.


ත්‍රි’මලේ Night Navigation පද්ධතිය උපරිමෙන් ක්‍රියාත්මක නෑ 
ත්‍රිකුණාමලය වරායේ ඇති Night Navigation පද්ධතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳවද කෝප් කමිටුව මෙහිදී විමසීම සිදු විය.

2022 දී ආහාර වියදම බිලියන 1.2 ක්
2022 වර්ෂය වෙනුවෙන් ආහාර සඳහා 2022 වර්ෂයේ රුපියල් බිලියන 1.2 ක වියදමක් දරා ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව මේ මුදලෙන් රුපියල් මිලියන 498 කෙටි ආහාර සඳහා වියදම් කර ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය. 

මෙම නිර්දේශවල ප්‍රගතිය සමාලෝචනය සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2023 දෙසැම්බර් 08 දින නැවත කැදවීමටත් මෙහිදී තීරණය විය. 

රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉරාන් වික්‍රමරත්න, එස්.එම් මරික්කාර්, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, මධුර විතානගේ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට!

Published

on

By

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ බව පැවසේ.

මේ සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන බවද පැවසේ.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.

අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading

පුවත්

දැක්කොත් පොලිසියට කියන්න

Published

on

By

කොළඹ අපරාධ කොට්ඨාශය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.

පොලිසිය විසින් ඔහුගේ ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇති අතර කිසියම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් පොලිස් ඒකක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සහකාර පොලිස් අධිකාරී – කොළඹ අපරාධ කොට්ඨාශය – 0718591807

ස්ථානාධිපති – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8591735

ස්ථානාධිපති – 4 වන ඒකකය – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8596506

Continue Reading

පුවත්

හජ් අදයි

Published

on

By

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි.

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වෙයි.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.

සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved