පුවත්

වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපය’ බවට හැරෙනවා – ජනපති 

Published

on

වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපය’ බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය නව නීති සකස් වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ හිල්ටන් හෝටලයේ දී ඊයේ (26) පැවැති 2023 වාණිජ බේරුම්කරණ සම්මන්ත්‍රණය අමතමිනි.

ජාත්‍යන්තර විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානය (IADRC) විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

මෙම වසර අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිෂන් සභාව පිහිටුවනවා. ආරවුල් නිරාකරණය කිරීම සඳහා කටයුතු කරනු ලබන්නේ ද එම කොමිෂන් සභාවෙන්.

2018 වර්ෂයේ දී විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට හැකිවීම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා එහි අඛණ්ඩ වර්ධනය සඳහා ආණ්ඩුව කැපවී සිටිනවා. මෙම මුලපිරීම් සඳහා සහයෝගය ලබා දෙන ලෙස අධිකරණ සහ ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ආරවුල් නිරාකරණය කිරීමේ සාර්ථකත්වය ශ්‍රී ලංකාව, බාහිරය දෙස විවෘතව බලන ආර්ථිකයක් බවට පත්වීමේ අපේක්ෂාවන් සඳහා තීරණාත්මක සාධකයක්. වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පත්කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු සිදුවෙමින් පවතිනවා.

එම නීතිය මඟින් දැනට පවතින ආයෝජන මණ්ඩලය, ආරවුල් කාර්යක්ෂමව විසඳීම අරමුණු කර ගනිමින් පිහිටවනු ලබන ආර්ථික කොමිෂන් සභාව ලෙස පරිවර්තනය කිරීමට පියවර ගන්නවා.

ජාත්‍යන්තර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමේ වැදගත්කම සහ විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වීම වැදගත්, රටේ තරගකාරී අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට දිවෙන කෘත්‍රිම බුද්ධිය බ්ලොක්චේන් තාක්ෂණය සහ හරිත බලශක්තිය වැනි නැඟී එන ක්ෂේත්‍රවල විශේෂීකරණයට එක්වන ලෙස නීතිඥ වෘත්තිකයන්ගෙන් ද ඉල්ලා සිටිනවා.

විකල්ප ආරවුල් විසඳීම සහ බේරුම්කරණය කියන මෙම අංශ දෙක තුළම ශ්‍රී ලංකාවට බොහෝ දේ සිදු කිරීමට තිබෙනවා වගේම එය අපට දැනටමත් පවතින ගැටලුවක්. අප මුලින්ම මෙම ක්‍රියාවලියට හැඩ ගැසෙන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු වෙනවා.

ඒ සඳහා අපට සංස්කෘතිකමය වෙනසක් අවශ්‍යයි. කෙටිම කාලයක් තුළ ආරවුල් විසඳා ගත හැකි වන ආකාරයට එම සංස්කෘතික වෙනස සිදු විය යුතුයි. ඒ කියන්නේ අප එක්තරා ආකාරයකට පරණ උසාවිය කියන සංකල්පයට බැඳී සිටිනවා. කෙසේ වෙතත්, මෙය අපට මුහුණ දිය යුතු එක් අභියෝගයක්.

අපි ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. පළමුවැන්න නම් වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහිතව “කොළඹ මූල්‍ය කලාපය” බවට පත් කිරීම සඳහා වන නව නීති සම්පාදනයයි. ඒ සඳහා අවශ්‍ය නව නීතිය කෙටුම්පත් කෙරෙමින් පවතිනවා. ඒ වගේම මෙම වසර අවසන් වීමට පෙර අපි එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙවැන්න තමයි, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම. ආරවුල් නිරාකරණය කිරීම ද සඳහා කටයුතු කරනු ලබන්නේ ද එම කොමිෂන් සභාවයි.

අපි නිදහස් වෙළෙඳ ගිවිසුම් කිහිපයකට එළැඹෙනවා. සිංගප්පූරුව සහ තායිලන්තය සමඟ ගිවිසුම්ගත වීම සම්බන්ධ සාකච්ඡා අවසන් කිරීමට අපි සූදානම්. වැඩි දියුණු කරන ලද ගිවිසුමක් වෙනුවෙන් අපි ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. බංග්ලාදේශය සමඟත් අපි සාකච්ඡා පවත්වනවා. ඊටත් වඩා, අපි කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වය (RCEP) සඳහා ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටිනවා. ලෝකයේ සිටින විශාලතම වෙළෙඳ ප්‍රජාව එහි සිටිනවා. ඒ නිසා අපට විකල්ප ආරවුල් විසඳීම කොතරම් වැදගත් ද යන්න මෙයින් අවබෝධ වෙනවා.

ඒ වගේම අප ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බව සහතික කළ යුතුයි. අප උත්සාහ කළ යුත්තේ ශ්‍රී ලංකාව තුළ සිංගප්පූරුවේ වැනි සංවර්ධනයක් ඇති කිරීමටයි. එහිදී අපේ පිරිවැය සිංගප්පූරුවට සාපේක්ෂව අඩු විය යුතුයි. එවිට අපට පමණක් සිංගප්පූරුව සමඟ තරග කළ හැකියි. නමුත් එය අත්‍යවශ්‍ය වන්නේ ලෝකයේ මෙම කොටසෙහි රික්තයක් පවතින නිසායි. අපි අපේ ගමනේ වේගය වැඩි කළහොත්, අපට ඒ රික්තය ඉක්මනින් පිරවිය හැකියි.

දෙවනුව, අපගේ සියලුම නීතිඥයින් සහ අධිකරණ සේවාවල නිරත පුද්ගලයින් එම වෘත්තියෙන් පිටත පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාව ඔබට තිබෙන එකම වෙ‍ෙළඳපොළ නොවේ. ශ්‍රී ලංකාවෙන් පිටත ඔබට විශාල වෙළෙඳපොළක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයට විතරක් නොවෙයි අලුත් ක්ෂේත්‍ර කෙරෙහිත් ඔබ අවධානය යොමු කළ යුතු වෙනවා.

කෘත්‍රිම බුද්ධිය , බ්ලොක්චේන් තාක්ෂණය වැනි දියුණු වෙමින් පවතින නව තාක්ෂණයන් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අපි දැන් එය කළොත්, අපි ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. අප ප්‍රමාද වුවහොත් එම අවස්ථාව වෙන කෙනෙක් ලබා ගන්නවා.

දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කරන විට අපි ඒ වෙනුවෙන් පුළුල් කැපවීමකින් යුතුව කටයුතු කරමින් සිටිනවා. අපේ හරිත හයිඩ්‍රජන්, හරිත ඇමෝනියා සහ සුළං බල උත්පාදනය සලකන විට එය ගිගාවොට් 60ක් පමණ වන බව සඳහන් වනවා. ඇතැම් අය එය ගිගාවොට් 40ක් පමණ වන බව පවසනවා.

ඒ නිසා මෙහි තිබෙන ව්‍යාපාරික අවස්ථාව පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. මෙම සියලු නව ක්ෂේත්‍ර පිළිබඳ අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

මෙම නව ක්ෂේත්‍රවල අධ්‍යාපනය, විශේෂඥ දැනුම ලබාගැනීම සහ සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප සූදානම්. ශ්‍රී ලංකාව වඩාත් කාර්යක්ෂම සහ ඉදිරි දැක්මකින් යුතු නෛතික පරිසරයක් සහිත රටක් බවට පත්කිරීම වෙනුවෙන් යන ගමනට එක්වන ලෙස මම සියලු දෙනාට ආරාධනා කරනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිපති, හිටපු නීතිපතිවරුන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා, ජාත්‍යන්තර විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානයේ සභාපති ජනාධිපති නීතිඥ කේ. කනග-ඊස්වරන්, ජාත්‍යන්තර විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මහලේකම් ධාරා විජයතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥ වෘත්තිකයන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version