Connect with us

පුවත්

වසන්නත මුදලිගේ මරන්න ගැසූ ප්ලෑන් එක හෙළිවෙයි!

Published

on

අත්අඩංගුවට ගත් තමා ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසියට තිබූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (02) පැවැසීය.

රෙද්දකින් වසා නවගමුව දේවාලය අසල ගඟ අයිනේ පාළු ස්ථානයකට රැගෙන ගිය බවත් එහි සිටි නිලධාරියකු සර් අපි කියන තැනට ආවා, මොකක් ද දැන් කරන්න ඕන කියා කිසියම් නිලධාරියකුගෙන් විමසූ බවත් මුදලිගේ මහතා සඳහන් කළේය.

එම අවස්ථාවේ නවගමුව දේවාලයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකු දුටු පොලිසිය අන්න අරූ මේ පැත්තට එනවා, ඉක්මනින්ම මාරු වෙමු කියා යළි වාහනයට නංවාගෙන එම ස්ථානයෙන් පිටවූ බවද ඔහු සඳහන් කළේය.

වසන්ත මුදලිගේ මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (2) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 167 ට අධික කාලයක් සිරකරගෙන සිට නිදහස ලැබීමෙන් පසු ඔහු පැවැත් වූ ප්‍රථම මාධ්‍ය හමුව එය විය.

ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද කීවේය.

ඉකුත් අගෝස්තු මස 18 වැනිදා වරෙන්තුව මත කියා මාවත් සිරිධම්ම හිමිත් ජීවන්ත සහෝදරයාත් පෑළියගොඩ විශේෂ පොලිස් ඒකකයක් මගින් අත්අඩංගුවට ගත්තා.

තිර පිටපත ලියද්දි ඒ තිරපිටපතේ තිබුණේ මේ ආකාරයෙන් අප නිදහස් කරන්න නෙමෙයි. ආණ්ඩුව උත්සාහ කළේ හැකිනම් අප ඝාතනය කරන්න. නැතිනම් වසර ගණනාවක් අප හිරේ තියන්නයි.

මා අත්අඩංගුවට ගත්තේ පෑළියගොඩ විශේෂ ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරආරච්චි මහතායි. වරෙන්තුවක් කියා මා අත්අඩංගුවට ගත් ඔහු මා පෑළියගොඩ පොලිසියට රැගෙන ගියා.

පෑළියගොඩ පොලිසියට රැගෙන ගිහින් කිසිම පැහැදිලි කිරීමක් නැතුව පොලිසිය ඇතුළෙ හංගගෙන වගේ තියාගෙන හිටියා.

පසුදින පාන්දර ම කවුරුත් අවදි වෙන්නත් කලින් සිවිල් ඇඳුමෙන් පැමිණි පිරිසක් මා වාහනයක දාගෙන රෙද්දකින් වහලා එඬේරමුල්ල පොලිසියට රැගෙන ගියා.

එඬේරමුල්ල පොලීසියට යනවිට සිටි සියලු‍ සැකකරුවන් සිරමැදිරියෙන් අයින් කරලා ඒ කූඩුවට දැම්මා.

එහිදී ඒ එස් පී මහින්ද විල්ලෝරආරච්චි මහතා මේසයක ඉඳගෙන පිස්තෝලයක් මගේ පැත්තට හරවලා ‘විජේවීරට’ විජය කුමාරතුංගට වුණ දේ උඹට මතකද ‘‘උඹට ඒ දේම තමා කරන්න ඕනේ’’ මේ තත්වය හින්දා උඹ මරන්න අපිට බැහැ. එනිසා අවුරුදු දෙකක් විතර තැපල වරෙන් කියා කිව්වා.

එහිදී ඔවුන් මරනවා කියලා මට තර්ජනය කරලා “කිසිම උසාවියකට ඉදිරිපත් කරන්නේ නැතුව අදාළම නැති පොලිසිය රඳවාගෙන” හිටියා.

නැවතත් ජිප්වල දාගෙන කාටත් නොපෙනෙන අයුරින් වෙරළබඩ පොලිසිය පැත්තේ තියෙන පොලිස් නේවාසිකාගාරයක් වෙත රැගෙන ආවා.

මෙම පොලිස් නේවාසිකාගාරයේ බිම් මහලේ යට තට්ටුවේ කරුවල කාමරයක කිසිම ප්‍රශ්න කිරීමක් නැතිව රෙදිවලින් ඔතලා පැය ගාණක් අපි තිබ්බා. දවස් ගාණක් ඒ ආකාරයේ රඳවාගෙන හිටියා.

21 වැනිදා උදෑසන නැවතත් වාහනයක දමාගෙන රැගෙන ගියා. නවගමුවේ දේවාලය ගාව තිබෙන වාහන නැවතුමේ පහළ ඇති පාළු ගඟ ගාවට ගෙන ගියා. මේ අවස්ථාවේ හිටියේ රෙද්දකින් ඔතලා මාංචුත් දාගෙනයි.

එහි සිටි පොලිස් නිලධාරියකු අදාළ නිලධාරියකු අමතමින් ‘‘සර් අපි අදාළ තැනට ඇවිල්ලා ඉන්නේ, මොකද අපි කරන්න ඕනේ’’ කියලා ඇහැව්වා.

නවගමුවේ දේවාලය අසල ගඟ අයිනේ සැකකටයුතු වාහනයක් නවතා තියෙද්දි නවගමුව දේවාලයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකු එම ස්ථානයට පැමිණෙමින් සිටියා.

එම පොලිස් නිලධාරියා දුටු සෙසු පිරිස අන්න අරූ මේ පැත්තට එනවා, එන්න කලින් මාරු වෙමු කියා යළි වාහනයට නංවාගෙන ඉක්මනට පැදපන් කිව්වා.

නවගමුව පොලිසිය දන්නෙවත් නෑ අපිව ඒ පාළු ගඟ අයිනට ගෙන ගිය විත්තිය.

මෙහෙමයි අපව ඝාතනය කරන්න මැදිහත්වීම් කළේ. එම නිලධාරීන් කිව්වා පහුගිය කාලේ පාතාලෙ අය කිහිප දෙනකුගේ නම් කියලා අපි මැරුවේ එහෙමයි කියලා කිව්වා.

පැය 72ක්ම කිසිම උසාවියකට ඉදිරිපත් නොකර මාව රඳවාගෙන හිටියා.

වරෙන්තුවකට අත්අඩංගුවට ගත් අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පන⁣තේ රැඳවුම් නියෝග අත්සන් කරනකම් දවස් තුනක් තිස්සේ පොලිසිය කළේ අප ඝාතනය කරන්න සැලසුම් කළ එකයි.

මේ රටේ පොලිස්පතිගෙන් සහ පෑළියගොඩ ස්ථානාධිපතිගෙන් අහනවා වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත්ත නම් දේවාලයේ පිටිපස්ස ගඟට අයිනට, වෙරළබඩ පොලිස් නේවාසිකාගාරයේ බිම් මහලට, එඬේරමුල්ල පොලිසිය පිටුපස තියෙන කැළෑවට රැගෙන ගියේ මොන විමර්ශනය කරන්න ද කියලා.

පොලිසියට තියෙන අයිතිය මොකක්ද අපි එම ස්ථානවලට අරගෙන යන්න. මා අරන් ගියේ විමර්ශන ස්ථානවලට ද? මේවට නිශ්චිත උත්තරයක් පොලීසිය දෙන්න ඕනේ.

පොලිස්පති පෑළියගොඩ පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේවට උත්තර දෙන්න ඕනෑ.

අපි මේ ස්ථානවලට අරගෙන ගියේ කුමකටද කියලා උත්තර දෙන්න ඕන.

අපි වගකීමෙන් කියනවා මේක ඉතාම සැලසුම් සහගතව කළ දෙයක්. පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ නියෝගය අස්සන් කරලා අපි ත්‍රස්ත මර්දන ඒකකයට බාර දුන්නා.

ආදරණීය සහෝදර සහෝදරියන් විශාල පිරිසක් අප ආරක්ෂා කළා. ඔබ නිසයි අදටත් ඔබ ඉස්සරහ මේ විදිහට කතා කරන්න හැකියාව ලැබුණේ.

අපි මේ චෝදනා කරන්නේ සියලු‍ පොලිස් නිලධාරින්ට නෙවෙයි. හොඳ පොලිස් නිලධාරීන්ද හිටියා. හොර රහසේ අපිව අරන් යද්දි පොලීසියේ ඉන්න විශාල පිරිසක් අපිව ආරක්ෂා කළා. ඔවුන් අතරින් ආණ්ඩුවට කඩේ යන පොලිස් නිලධාරීන්ට මේ චෝදනා කරන්නේ.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේදී කායික වශයෙන් සහ මානසික වශයෙන් අප විශාල වශයෙන් පීඩාවට පත් කළා.

අප දාලා තිබුණේ අඩි 4යි 8 අඳුරු යකඩ කූඩුවකට. කිසිම සුළඟක් හෝ ආලෝකයක් එන්නේ නැහැ.

තංගල්ල පරණ බන්ධනාගාරයේ එකම එක රැඳවිය වශයෙන් මම පමණයි රඳවලා හිටියේ. එහෙම කළේ කායික හා මානසික වශයෙන් වට්ටන්නයි. හිටපු සිර කූඩුවේ මට නාන්න තිබුණේ කොමඩ් එකට පාවිච්චි කරන හෑන්ඩ් ෂවර් එකයි.

සමහර වෙලාවට කෑම දුන්නෙ යකඩ තහඩුවකට. බිම තියාගෙන කනකොට ඇතැම් පොලිස් නිලධාරීන් ඒක දැකලා ඇඬුවා. බන්ධනාගාරයට මාරු කළාම එහිදී සිරකරුවන් ඇතුළු පිරිස අපිට හොඳින් සැලකුවා. ආණ්ඩු කොහොම පත්වුණත් අපේ ප්‍රශ්නය එහෙමමයි. එහෙම නැහැයි කියනවා නම් ආපසු හැරිලා බලන්න.

අපේ ඇත්ත අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරනවා. ඕනෑම ආණ්ඩුවක් දණගස්වන බලයක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා සියලු දෙනාම මැදිහත් වෙමු.

‘‘ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැනටමත් ගොනුකර තිබෙනවා. පීඩාවට පත් කරපු නිලධාරීන්ට විරුද්ධවත් තනි තනිව නීතිමය පියවර ගන්නවා.”

අපි 4 වැනිදා විරෝධතාවක් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. 04 වැනිදා කොළඹ එන්න. අපේ නිදහස දිනාගන්න. කොළඹ එන්න බැරි අය ළඟම හන්දියට කළු කොඩියක් අරගෙන එන්න”‍ යැයිද ඔහු කීවේය.

(ලංකාදීප)

පුවත්

නාවික හමුදාව සහ සංවිධානාත්මක කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක්

Published

on

By

ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (03) මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී නාවික හමුදා යාත්‍රාව වට කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් පැමිණ අදාළ එක් යාත්‍රාවක් පැහැරගෙන යෑමට තැත් කර ඇත.

මෙහිදී අදාළ කණ්ඩායම සහ නාවික හමුදාව අතර පොරබැදීමක් සිදුවී ඇති අතර එහිදී නාවික හමුදාව නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සාහ දරා තිබේ.

පසුව නාවික හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩිතබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබුණි.

එහිදී අදාළ කණ්ඩායම ප්‍රකෝපකාරී ලෙස හැසිරීමත් සමග එක් නාවික හමුදා සෙබෙලෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුට වෙඩිවැදී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 23 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

මේ අතර අදාළ සිද්ධිය මුල් කරගනිමින් කුච්චවේලි ප්‍රදේශයේදී ධීවරයින් උද්ඝෝෂණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු පෙරට්ටුවේදී හඳුනා නොගනී

Published

on

By

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද (04) ඉදිරිපත් කළේය.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර, ඔවුන් විසින් සැකකරු හඳුනා නොගත් බව වාර්තා වේ.

ඉන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබේ.

එහිදී සැකකරු මේ මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නියම කළේය.

එදින මෙම සැකකරු ස්කයිප් තාක්ෂණය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම විය.

Continue Reading

පුවත්

ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි

Published

on

By

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම  එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදීය.

චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල්  විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා  සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික  ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්,  ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක්  බවට පත් කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමණක් නිලධාරින් මත පැටවීම සිදු නොකරන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  විශේෂඥ දැනුම සහිත නිලධාරින් සහ දේශපාලන අධිකාරිය අතර සිදු කෙරෙන විධිමත් සාකච්ඡාවලින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව සඳහන් කළේය. ඇතැම් අත්තනෝමතික දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අසාර්ථක වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

උපායමාර්ගික වැදගත්කමින් යුත් ක්ෂේත්‍ර රජය යටතේ පවත්වාගෙන යන අතරම, රජයේ මූලික ප්‍රතිපත්ති මත පිහිටා අදාළ ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම්  වැඩසටහන, එක්සත් ජනපදයෙන් පනවා ඇති නව තීරුබදු මෙන්ම,  2027 වසරේ ඝ්Sඵ්+ සහන වැඩසටහන පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ගේ අවධානය යොමු කරන ලදී.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,  මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved