Connect with us

පුවත්

වසර 28කට පසු  විදුලි සංදේශ පනත සංශෝධනයට අනුමැතිය

Published

on


විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලුණු අතර ඊට අදාළ අනුමතිය හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් 2024.06.25 දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම අනුමතිය ලබාදීම සිදුවිය. නීතිපති දෙපාර්තමේන්තුව, තාක්ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම රැස්වීමට එක්ව සිටියහ.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පසුගියදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

මේ අනුව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරමින් අවශ්‍ය සියලු සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. ලොව තාක්ෂණික ප්‍රවණතා සමග මෙම පනත සංශෝධනය වීම කාලීන අවශ්‍යතාවක් බැවින් මීට පෙර අවස්ථා තුනකදී අමාත්‍ය අනුකාරක සභා මගින් මෙම පනත් කෙටුම්පත සංශෝධනය සදහා කටයුතු කළ ද එය ඉටුනොවූ බව ද නිලධාරීහු පැවසූහ.

මේ අනුව මේ වන විට ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම පනත් කෙටුම්පත පිළියෙල කළ බව ද නිලධාරීහු පැවසූහ. මේ අනුව වඩාත් තරඟකාරී වෙළඳපොලක් තුළ පාරිභෝගිකයාට සාධාරණයක් ඉෂ්ට වන නියාමනයක් සඳහා ඉඩප්‍රස්ථාව මෙමගින් සළසා දී ඇත.

විදුලි සංදේශ සංඛ්‍යාත ලබා දීමේදී තරගකාරි ක්‍රමවේදයක් යටතේ යාන්ත්‍රණයක් හදුන්වාදීම මෙමගින් සිදුවන බව ද මෙහිදී අනාවරණය විය. මේ අනුව ඊට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කළ යුතු බව ද මේ අනුව නව තාක්ෂණය පහසුවෙන් මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට හදුන්වාදීමට අවස්ථාව උදාවීම මෙන්ම මෙම ව්‍යපාරය සිදුකරන ආයතන මනා ලෙස නියාමනය කිරීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

එසේම දැනට පවතින විදුලි සංදේශ පද්ධති බලපත්‍ර සහ සංඛ්‍යාත බලපත්‍ර ලබා දීමට අමතරව තවත් බලපත්‍රවර්ග 3ක් මෙම සංශෝධන හරහා හදුන්වාදීම සිදුවන බව ද මෙහිදී අනාවරණය විය. මේ හරහා විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට අමතරව යටිතල පහසුකම් සපයන සමගම්වලට ද බලපත්‍ර ලබාදීම සිදුකෙරේ. එසේම මෙම සංශෝධන හරහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලතල ශක්තිමත් වන බවත් නිලධාරීහු පැවසුහ.

එසේම ලොව වඩාත් සාධනීය පියවරක් වන වෙළඳපළ තරගකාරීත්වය තුළ ගාස්තු අඩුකිරීමේ වාසිය පාරිභොගිකයාට ලබාදීමට මෙම සංශෝධන හරහා අවස්ථාව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම මුහුදු මාර්ගයේ විදුලි සංදේශ රැහැන්වල ආරක්ෂාව සදහා ද සංශෝධන ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී සාකච්ඡා විය.

කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ විදුලි සංදේශ තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින් එම තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගැනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට මෙරට නීති සකස් විය යුතු බවයි. එසේම වෙළඳපළ තරගකාරීත්වය තුළ නව තාක්ෂණය හදුන්වාදීමටත් එහි වාසිය පාරිභෝගිකයාට හිමිවීමටත් මෙම සංශෝධන වඩාත් සාධනීය ඉදිරි පියවරක් වනු ඇති බව ද කාරක සභා සභාපතිවරයා සදහන් කළේය.

එසේම මෙම පනත රජයේ මුදල් කාරක සභාවේදී සලකා බැලෙන්නේ රාජ්‍ය මුදල් හා සම්බන්ධ කාරණා, වෙළදපොළ තරගකාරීත්වය සහ විනිවිදබව, පාරිභෝගික සාධාරණත්වය ආදිය විමර්ශනය සදහා බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුප පැස්කුවල් සහ  ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ,  හර්ෂණ රාජකරුණා, ප්‍රේම්නාත් සී දොලවත්ත, සහන් ප්‍රදීප් විතාන සහ මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභාවට සහභාගී වූහ.

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved