Connect with us

පුවත්

වසර 28කට පසු  විදුලි සංදේශ පනත සංශෝධනයට අනුමැතිය

Published

on


විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලුණු අතර ඊට අදාළ අනුමතිය හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් 2024.06.25 දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම අනුමතිය ලබාදීම සිදුවිය. නීතිපති දෙපාර්තමේන්තුව, තාක්ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම රැස්වීමට එක්ව සිටියහ.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පසුගියදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

මේ අනුව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරමින් අවශ්‍ය සියලු සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. ලොව තාක්ෂණික ප්‍රවණතා සමග මෙම පනත සංශෝධනය වීම කාලීන අවශ්‍යතාවක් බැවින් මීට පෙර අවස්ථා තුනකදී අමාත්‍ය අනුකාරක සභා මගින් මෙම පනත් කෙටුම්පත සංශෝධනය සදහා කටයුතු කළ ද එය ඉටුනොවූ බව ද නිලධාරීහු පැවසූහ.

මේ අනුව මේ වන විට ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම පනත් කෙටුම්පත පිළියෙල කළ බව ද නිලධාරීහු පැවසූහ. මේ අනුව වඩාත් තරඟකාරී වෙළඳපොලක් තුළ පාරිභෝගිකයාට සාධාරණයක් ඉෂ්ට වන නියාමනයක් සඳහා ඉඩප්‍රස්ථාව මෙමගින් සළසා දී ඇත.

විදුලි සංදේශ සංඛ්‍යාත ලබා දීමේදී තරගකාරි ක්‍රමවේදයක් යටතේ යාන්ත්‍රණයක් හදුන්වාදීම මෙමගින් සිදුවන බව ද මෙහිදී අනාවරණය විය. මේ අනුව ඊට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කළ යුතු බව ද මේ අනුව නව තාක්ෂණය පහසුවෙන් මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට හදුන්වාදීමට අවස්ථාව උදාවීම මෙන්ම මෙම ව්‍යපාරය සිදුකරන ආයතන මනා ලෙස නියාමනය කිරීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

එසේම දැනට පවතින විදුලි සංදේශ පද්ධති බලපත්‍ර සහ සංඛ්‍යාත බලපත්‍ර ලබා දීමට අමතරව තවත් බලපත්‍රවර්ග 3ක් මෙම සංශෝධන හරහා හදුන්වාදීම සිදුවන බව ද මෙහිදී අනාවරණය විය. මේ හරහා විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට අමතරව යටිතල පහසුකම් සපයන සමගම්වලට ද බලපත්‍ර ලබාදීම සිදුකෙරේ. එසේම මෙම සංශෝධන හරහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලතල ශක්තිමත් වන බවත් නිලධාරීහු පැවසුහ.

එසේම ලොව වඩාත් සාධනීය පියවරක් වන වෙළඳපළ තරගකාරීත්වය තුළ ගාස්තු අඩුකිරීමේ වාසිය පාරිභොගිකයාට ලබාදීමට මෙම සංශෝධන හරහා අවස්ථාව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම මුහුදු මාර්ගයේ විදුලි සංදේශ රැහැන්වල ආරක්ෂාව සදහා ද සංශෝධන ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී සාකච්ඡා විය.

කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ විදුලි සංදේශ තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින් එම තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගැනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට මෙරට නීති සකස් විය යුතු බවයි. එසේම වෙළඳපළ තරගකාරීත්වය තුළ නව තාක්ෂණය හදුන්වාදීමටත් එහි වාසිය පාරිභෝගිකයාට හිමිවීමටත් මෙම සංශෝධන වඩාත් සාධනීය ඉදිරි පියවරක් වනු ඇති බව ද කාරක සභා සභාපතිවරයා සදහන් කළේය.

එසේම මෙම පනත රජයේ මුදල් කාරක සභාවේදී සලකා බැලෙන්නේ රාජ්‍ය මුදල් හා සම්බන්ධ කාරණා, වෙළදපොළ තරගකාරීත්වය සහ විනිවිදබව, පාරිභෝගික සාධාරණත්වය ආදිය විමර්ශනය සදහා බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුප පැස්කුවල් සහ  ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ,  හර්ෂණ රාජකරුණා, ප්‍රේම්නාත් සී දොලවත්ත, සහන් ප්‍රදීප් විතාන සහ මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභාවට සහභාගී වූහ.

පුවත්

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Published

on

By

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා (11) පෙරවරු 8. 30 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීමේ හා වැඩි දියුණු කිරීමේ කාර්ය හේතුවෙනි.

පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශ මෙන්ම කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කරි.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභොගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටියි.

ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

Continue Reading

පුවත්

ඇමරිකාව හා චීනය අතර වෙළඳ සාකච්ඡා අද ලන්ඩනයේ දී

Published

on

By

ඇමරිකාව හා චීනය වෙළඳ සාකච්ඡා සඳහා ලන්ඩනයේදී අද (09) හමුවීමට නියමිතය.

ඇමරිකාව හා චීනය අතර වෙළඳ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් නව සාකච්ඡා වටයක් අද (09) ලන්ඩනයේදී පැවැත්වෙනු ඇත.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා නිවේදනය කළේ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් චීන නියෝජිතයන් හමුවන බවය.

එමෙන්ම චීන උප අගමැති හේ ලීෆෙන්ග් සාකච්ඡාවලට සහභාගී වන බව තහවුරු කර තිබේ.

දෙරටම ආනයන බදු අඩු කිරීම සඳහා එකඟ වූ නමුත් රටවල් දෙකම ගිවිසුම කඩ කළ බවට ද චෝදනා එල්ල වේ.

ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් මෙම සාකච්ඡා සඳහා එකවනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ උප අගමැතිවරයා ජූනි 8 සිට 13 දක්වා බ්‍රිතාන්‍යයේ රැඳී සිටින බවය.

Continue Reading

පුවත්

ගම්මන්පිල CID එයි (වීඩියෝ)

Published

on

By

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඒ මහතා මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.

වීඩියෝ – අද දෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved