Connect with us

පුවත්

ව්‍යවස්ථා සංශෝධනය ගැන කිසිදු බියක් ඇති කර ගන්න එපා – ජනපති

Published

on

සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව  ක්‍රියාත්මක එකම රට  ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු  බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී තමන් එහි වගකීම බාර දෙන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බවත් ඒ අනුව එවැනි කටයුතු සිදු කළේ කේ. එන් චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කෙසේ වුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) එක් වෙමිනි.

ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ යුක්තිය පසිඳලිමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1600 ක් වැය කරමින් ඉදිකෙරුණු මෙම නව අධිකරණ සංකීර්ණය  සිවිල් අභියාචන මහාධිකරණයක්, මහාධිකරණ දෙකක්, දිසාධිකරණ තුනක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක් , පරිවාස කාර්යාලයක් , ණය සහනදායි මණ්ඩලය සඳහා කාර්යාලයක් ඇතුළු අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.
සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. 

ගාල්ල නීතිඥ ප්‍රජාව විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්  ද ප්‍රදානය කරනු ලැබිණ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය  : 

මෙම අධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ලේ කටයුතු අවසන් කිරීම පිළිබඳ මාම විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. සංචාරක කලාපයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බැවින් පැවති අධිකරණ සංකිර්ණය හැකි ඉක්මණින් මෙතනින් ඉවත් කරන ලෙස මෙම දැනුම් දුන්නා. අද එම කටයුත්ත සිදු කර තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස ගොඩනැඟීමේදී  මෙම පළාතෙන් පිට විශාල හෝටල් ඉදිකිරීම සඳහා අප ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ගමනාගමන මණ්ඩලය, දැව සංස්ථාව සහ මහමෝදර රෝහලත් ඒ වගේම හෙද විදුහල, බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයත් නගර මධ්‍යයට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම හික්කඩුව ප්‍රදේශයේත් මෙවැනි අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා. 

ගාල්ල දිසා අධිකරණ සංකීර්ණය මේ රටේ ඉතිහාසයේ කොටසක් බව කිව යුතුයි. ඕලන්ද පාලනයෙන් පසු බතාවියානු ප්‍රකාශය මඟින් ලංකාවේ රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කළා. රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරන විට මේ ගාල්ල ප්‍රදේශය අධිකරණ බල ප්‍රදේශයක් බවට පත් වුණා. මෙහි අධිකරණ මණ්ඩලයක් සහ සිවිල් මණ්ඩලය හා ඉඩම් මණ්ඩලයක්ද පත් කළා. අපේ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වුණේ මේ ආකාරයටයි. ඒ අනුව ගාල්ල අධිකරණ ප්‍රදේශය මාතර දිසාව, ගාල්ල වශයෙන් කොටස් දෙකක්  ලෙස පැවතුණා. කෙසේ වුවත් අධිකරණ කලාපයක් ලෙස තවමත් ඒ අයුරින් ක්‍රියාත්මක වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය පමණයි. 

මේ අතර ඉඩම් මණ්ඩලයේ බහුතරයක් සිටියේ ඕලන්ද ජාතිකයන්. ඉතිරි සුළුතරය රුහුණේ සිටි ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයන් නීතිය ඉගෙන ගත්තේ එතනින්. පසුව ඉංග්‍රීසි සමයේදී මෙම පිරිස නීතිඥවරුන් ලෙස ඉදිරියට පැමිණියා. 
එතැන් සිට ලාංකිකයන් බොහෝ පිරිසක් නීති ක්ෂේත්‍රය තුළ කටයුතු කළා. ඒ වගේම නීතියේ සිට ව්‍යවස්ථාදායක සභාවට පැමිණියා. ඒ අනුව ව්‍යවස්ථාදායක ක්‍රමයේ පදනම බවට පත් වූණේ නීතිඥයන්. ඉන්පසුව සර්වබල ඡන්ද බලය හිමි වූ නිසා ඩොනමෝර් ක්‍රමය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සේවය කළා. ඉන්පසුව සෝල්බරි ව්‍යවස්ථාව මඟින් ඉංග්‍රීසි ක්‍රමය ඇති වුණා. ඉන්දියාව වෙනම ජනරජ ව්‍යවස්ථාවක් ගෙන එන විට අප ඉංග්‍රීසි ක්‍රමය ලබා ගත්තා. 

ඉන්පසුව කොල්වින් ආර්. ද සිල්වා යටතේ පළමු ජන රජ ව්‍යවස්ථාව හදුන්වාදුන් අතර, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දෙවන ජන රජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. අපට ව්‍යවස්ථා ඉතිහාසයක් තිබෙන අතර නීතිය සමඟ බැඳීමක් සහ ගරු කිරීමක් ද තිබෙනවා. 
1931 වසරේදී ආසියාවේ සහ අප්‍රිකාවේ පළමු වරට සර්ව ජන ඡන්ද බලය ලැබුණේ ශ්‍රී ලංකාවටයි. වෙන කිසිඳු රටකට එය හිමි වුණේ නැහැ. ඇමරිකාවේත් ඇතැම් ප්‍රාන්තවල කළු ජාතිකයන්ට ඡන්දය තිබුණේ නැහැ. එය ලබාගැනීමෙන් පසු අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කර තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. අප මේ පිළිබඳ ආඩම්බර විය යුතුයි. යුද්ධ තිබුණත්, කැරළි තිබුණත් 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ ආසියාවේ සහ අප්‍රිකාවේ එකම රට ශ්‍රී ලංකාවයි. අප කොතරම් වාද කළත්, ප්‍රජාතන්ත්‍රවාදය  කැඩෙන්න ඉඩ දුන්නේ නැහැ. 

මැතිවරණයකින් පරාජය වූ පසු ගැටුමකින් තොරව බලය මාරු කර ගන්නේ ලංකාවේ පමණයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා. වාද විවාද ඇති වුණත්, කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන්නේ නැහැ.

ඇතැම් ප්‍රශ්න මතු වූ විට ප්‍රජාතන්ත්‍රවාදය නැති වන බව සමහරු කියනවා. අපේ ව්‍යවස්ථායකය, අධිකරණය සහ දේශපාලන ක්‍රමය කෙසේ හෝ මෙම ක්‍රමවේදය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මේ අයුරින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ලොකුම තර්ජනය එල්ල වුණේ 2022 වසරේ. නමුත් අප එකඟත්වයෙන් ඉදිරියට යනවා. 

අපට පාර්ලිමේන්තුවේ වාද කළ හැකියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. දැන් ඉදිරියේදී මැතිවරණය පැවැත්වෙනවා. අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා ඡන්දය මෙම කලාසීමාවේදී පැවැත්විය යුතුයි කියලා. අපත් ඊට එකඟයි. 
2015 වසරේ අප අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. මම මෙවැනි කටයුතු සාමාන්‍යයෙන්  භාර දෙන්නේ කේ. එන් චොක්සි නීතිඥතුමාටයි. නමුත් ඒ වන විට ඔහු ජීවතුන් අතර නොසිටි නිසා ජයම්පති වික්‍රමරත්න නීතිඥතුමාට එම කටයුත්ත භාර දුන්නා. එතුමාට එක වාක්‍යයක් ඉවත් කිරීමට නොහැකි වුණා. එපමණයි සිදුව තිබෙන්නේ. මේ කෑ ගහන්නේ ඒකට. එය එතුමාගෙන් සිදු වූ අතපසුවිමක්. එම අතපසුවීම ගැන රටේ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. ඒ ගැන තවත් ප්‍රකාශ සිදු කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පිළිබඳ  බය වෙන්න එපා. අපේ රට 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා. 

ඒ වගේම මෙම ගාලු ඉතිහාසයේ උරුමය පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට කටයුතු කරනවා නම් ආණ්ඩුවෙන් ඒ සඳහා මුදල් ලබා දෙන බවද ප්‍රකාශ කරනවා. 

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා :

රුහුණේ පුරවැසියෙක් ලෙස අද මටත් ඉතා සතුටුදායක දිනයක් බව කිව යුතුයි. නවීන පන්නයේ අධිකරණ සංකීර්ණයක් අද දකුණු පළාතට හිමිව තිබෙනවා. 

ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරුන්ට සිය කටයුතු කරගෙන යාමේ දී අඩු පාඩු රැසකට මුහුණ දීමට සිදුව තිබුණා. මේ අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන් කිරීමට වසර 12ක් පමණ ගත වුණා. ඒ වගේම මෙහි වැඩ කටයුතු කරගෙන යාමේ දී විවිධ ප්‍රශ්නවලට මුහුණදීමටත් සිදු වුණා. ජනාධිපතිතුමාගේ මැදිත්විම නිසා අද මෙම සුන්දර ගොඩනැඟිල්ල ඉදිකිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

පසුගිය වසර දෙක තුළ රට අර්බුදකාරී තත්ත්වයකට පත්වුණද අධිකරණ  ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.

මෙම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමත් සමඟ ඇතැම් පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කරනවා. ඒ නිසා මෙම නව අධිකරණ සංකීර්ණය  අප ඉදිකළේ දේශපාලන අභිමතාර්ථ  ඉටු කර ගැනීමට නොවන බව සඳහන් කළ යුතුයි. අධිකරණය තුළින් ජනතාවට සහනයක් ලබාදීම අපේ අරමුණයි. අධිකරණය ජනතාවගේ දේවාලයක් ලෙස අප සලකනු ලබනවා.

කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා :

මෙම අධිකරණ සංකීර්ණය යතාර්ථයක් බවට පත් කිරීමට සහාය දුන් සැමට ස්තූතිවන්ත වෙනවා. එදා රට ආර්ථික අර්බුදයට ලක් වූ අවස්ථාවේ මෙහි වැඩ කටයුතු කරගෙන යාම අසීරු වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් අවසන් කිරීමට අවශ්‍ය මූල්‍ය  ප්‍රතිපාදන ලබා දුන්නා. එසේ නොවන්නට මෙය මහ පොළොවේ යතාර්ථයක් බවට පත් නොවීමට ඉඩ තිබුණා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ගීතා කුමාරසිංහ, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති පාරින්ද රණසිංහ, , ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එස් හපුගස්වත්ත යන මහත්වරුන්, මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, ගාල්ල නීතිඥ සංගමයේ සභාපති රුවන් ආසිරි ද සිල්වා ඇතුලු  නීතිඥවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව  සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved